උඩරට දුම්රිය මාර්ගයේ පාඩුව කෝටි 12ක්?

මධ්‍යම කඳුකරයට පසුගිය දිනවල ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සිට මාතලේ දක්වාත් පේරාදෙණිය සිට බදුල්ල දක්වාත් පස්කඳු කඩාවැටීමෙන් සහ නායයෑමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවූ අලාභය රු.මිලියන එකසිය විස්සකට ආසන්න බව දුම්රිය දෙපාර්තමේන්තු දිස්ත‍්‍රික් ඉංජිනේරු ලසන්ත කුමාර මහතා පවසයි.

මේ වන විට විනාශයට පත්වූ උඩරට දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු ආරම්භකර ඇති බවත්, මින් සිදුවූ විශාලම අලාභය අඹේවෙල දුම්රිය ස්ථානය අසල නායයෑම බව ලසන්ත කුමාර මහතා සඳහන් කරයි.


අඹේවෙල දුම්රිය ස්ථානය අසල 137 වෙනි සැතපුම් කණුව ආසන්නයේ දුම්රිය මාර්ග දෙකක් අඩි 100ක් දිගට අඩි 60ක් ගැඹුරට නායයෑමෙන් සිදුවූ අලාභය මිලියන විස්සක් බව ඉංජිනේරුවරයා කියයි.


එම නායගිය ස්ථානය දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග නඩත්තු අංශයේ සේවකයින් හතලිස් දෙනෙකු පමණ යොදවා සම්පූර්ණයෙන්ම කළු ගල් අතුරා සකස්කිරීමට කටයුතු කර ඇති අතර මේ සඳහා කළු ගල් කියුබ් දහසක් පමණ වැයවන බව ඇස්තමේන්තුකර ඇති බව ඉංජිනේරුවරයා පවසයි.


අඹේවෙල දුම්රිය ස්ථානය නායයෑමෙන් විනාශවු දුම්රිය මාර්ග දෙකෙන් එක් මාර්ගයක් පවතින අයහපත් කාලගුණයත් සමඟම දින තුනක් ඇතුළත සකස්කර උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යථා තත්වයට පත්කර එම ස්ථානයේ වැඩිම හානියක් සිදුවී තිබෙන දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු ඉන් අනතුරුව සිදුකරන බව දිස්ත‍්‍රික් ඉංජිනේරුවරයා පවසයි.


මේ සඳහා අවශ්‍ය කළු ගල් මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ලබාදෙන අතර මෙම කළු ගල් අඹේවෙල දුම්රිය ස්ථානයේ සිට නායගිය ස්ථානයට දුම්රියෙන් සහ පෞද්ගලික අංශයේ ලොරි රථවලින් ප‍්‍රවාහනය කරන බව ඉංජිනේරුවරයා වැඩිදුරටත් කියයි.


ඡායා රූ - රංජිත් රාජපක්ෂ



Post a Comment