එහි ප්‍රධාන ලේකම් එස්.පී. විතානගේ මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක වැඩිදුරටත් ඒ ගැන මෙසේද සඳහන් වෙයි.
යුධ වාතාවරණයක් පැවති සමයේ උතුරේ විවිධ ප‍්‍රදේශවලින් සොයා ගන්නා ලද රත‍්‍රන් යළි ඒවායේ හිමිකරුවන්ට බෙදාදීම සඳහා යැයි කියමින් අරලියගහ මන්දිරයේදී පැවති අරලිය දන්සැලට උතුරේ ජනතාව සහභාගී කරවා ගැනීම සඳහා යාපනය ප‍්‍රදේශයේ සිට ඔවුන් නොමිලයේ දුම්රියෙන් ප‍්‍රවාහනය කිරීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වී ඇති පාඩුව රුපියල් කෝටි 10ට ආසන්න ය.
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන අරලියගහ මන්දිරය වෙත උතුරේ ජනතාව ප‍්‍රවාහනය කිරීමට දුම්රිය 04ක් යොදා ගත් අතර, 2014.12.03 දින සවස M-10 වර්ගයේ දුම්රිය එන්ජින් සහිත මැදිරි 13ක දුම්රිය තුනක්ද, S-11 වර්ගයේ ද්විත්ව බලවේග කට්ටලයක්ද කිළිනොච්චිය සහ පලෙයි දක්වා හිස්ව ධාවනය කළේය.
අරලියගහ මන්දිරයට පැමිණෙන ජනතාව රැගෙන පසුදින එනම්, 2014.12.04 දින පෙරවරුවේ කොළඹ බලා ධාවනය වූ මැදිරි 13 කින් යුත් දුම්රිය 04 එදින රාත‍්‍රි 8.30න් පසුව නැවතත් කිළිනොච්චිය හා පලෙයි බලා පිටත් විය. කිළිනොච්චිය සහ පලෙයි වලින් පසුදින එනම්, 2014.12.05 දින මෙම දුම්රිය 04ම කොළඹ බලා ධාවනය වූයේ හිස්ව මගීන්ගෙන් තොරව ය.
ආරක්‍ෂක අමාත්‍යංශය, ප‍්‍රවාහන අමාත්‍යංශය හා දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධ වී ක‍්‍රියාත්මක කළ උතුරේ ජනතාව ඉලක්ක කර ගත් ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක වැඩසටහන නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වී ඇති පාඩුව රුපියල් කෝටි 10ක් ඉක්මවා ඇත. ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන අරලියගහ මන්දිරයේදී පැවැත්වූ රත‍්‍රන් බෙදාදීමේ වැඩපිළිවෙළ දුම්රිය දෙපාර්තමේන්තුවට කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව පෙන්වා දෙන අතර, නීති විරෝධී එම කටයුතු වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වූ පාඩුව ජනාධිපතිගේ වැය ශීර්ෂයෙන් වහාම දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු බවත් පෙන්වා දෙමු.
දුම්රිය 04 ක් ගමන් වාර 16 ක් ඉහළ පහල ධාවනය වූ අතර, ඒ සඳහා ඉන්ධන වියදම හා දුම්රිය සේවක දීමනා වශයෙන් රුපියල් තුන්කෝටි හතලිස් ලක්‍ෂයකට (3,400,000/-) අධික බවත්, 4000 ක මගී ජනතාව උතුරේ සිට කොළඹට රැගෙන ඒමට එක් අයෙකුට රුපියල් 1000/- කට අධික මුදලක් වැය වන බැවින්, මගී ජනතාවට ප‍්‍රවේශ පත‍්‍ර නොමැතිව දුම්රියේ ගමන් කිරීමට ඉඩ සැලසීම නිසා රුපියල් ලක්‍ෂ 40ට අධික මුදලක් දුම්රිය දෙපාර්තමේන්තුවට නොලැබී ඇත.
එමෙන්ම M-10 වර්ගයේ එන්ජිමක් සහිතව මැදිරි 13 බැගින් වන දුම්රිය තුනක් සහ S-11 වර්ගයේ ද්විත්ව බලවේග කට්ටලයක් සමග මැදිරි 52 ක් හා එන්ජින් 05ක ක්‍ෂයවීම් නිසා දීර්ඝ කාලීන වශයෙන් සිදු වන පාඩුව තවත් රුපියල් කෝටි ගණනක් බවද පෙන්වා දෙමු.
එමෙන්ම ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘතියක් ලෙස ක‍්‍රියාත්මක වූ අනුරාධපුර ‘‘සඳහිරු සෑය’’ උත්සවය වෙනුවෙන් මාතර සිට අනුරාධපුරය දක්වාත්, කොළඹ සිට අනුරාධපුරය දක්වාත් දුම්රිය 2 ක් විශේෂ ගමන් වාර 4ක් ධාවනය කර වූ අතර ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට වැය වූ මුදලද දුම්රිය දෙපාර්තමේන්තුවේ පාඩුව වැඩිකර ඇත. මෙම විශේෂ දුම්රිය ගමන් වාර 4 මගින් අනුරාධපුර සිට මාතර දක්වාත්, අනුරාධපුර සිට කොළඹ දක්වාත් හාමුදුරුවන් වහන්සේලා නොමිලයේ ප‍්‍රවාහනය කර ඇත.
ආයතන සංග‍්‍රහය, මුදල් රෙගුලාසි හෝ දුම්රිය නීති සංග‍්‍රහය අනුව ප‍්‍රවේශපත‍්‍ර ලබාගැනීමකින් තොරව කිසිවෙකු දුම්රියක ගමන් කිරීම සම්පූර්ණ වශයෙන් ම නීති විරෝධී ක‍්‍රියාවක් වන බව පෙන්වා දෙන අතර, ප‍්‍රවේශ පත‍්‍රයක් නොමැතිව ගමන් කිරීම සඳහා කිසිවෙකු, කිසිවෙකුට කිසිදු නියෝගයක් නිකුත් කළ නොහැකි බවද පෙන්වා දෙමු. ඒ අනුව ජනාධිපතිවරයාට හෝ අග‍්‍රාමාත්‍යවරයාට හෝ එවැනි බලයක් නොමැති බව පෙන්වා දෙන අතර, ජනාධිපතිවරයා හෝ අග‍්‍රාමාත්‍යවරයා තමන්ගේ කාර්ය මණ්ඩලයට අයත් සේවකයකු තම අවශ්‍යතාවයකට දුම්රියෙන් ගමන් කරවන්නේ නම්, ඒ සඳහා විශේෂ අවසර පත‍්‍රයක් ලබාදීමට අවසර ඇති බවද පෙන්වා දෙමු. එසේ වුවත් විවිධ දේශපාලන කටයුතු සඳහා දුම්රිය යොදාගෙන මහජනතාව ප‍්‍රවේශපත‍්‍ර නොමැතිව ගමන් කරවීමට කටයුතු කිරීම නීති විරෝධී වනවා පමණක් නොව රාජ්‍ය බලය අයුතු ලෙස පරිහරණය කිරීමක්ද වන බව අවධාරණයෙන් පෙන්වා දෙමු. මේ සඳහා වැය වූ මුදල් ආණ්ඩුවේ වගකිව යුත්තන් විසින් දුම්රිය දෙපාර්තමේන්තුවට පියවිය යුතු බවද අවධාරණය කර සිටිමු.
මෙයට විශ්වාසී,
එස්.පී. විතානගේ
ප‍්‍රධාන ලේකම්

Post a Comment