පියයුරු පොඩි කළ සැත්කම පොලීසියේ නවතී!

මාලඹේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් සිය පියයුරු යුගල කුඩා කර ගැනීමට ගිය කැලණියේ කාන්තාවක් සැත්කමින් පසු පියයුරකින් සැරව ගැලීම නිසා සැත්කම කළ වෛද්‍යවරයාට එරෙහිව පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණදුන් කාන්තාව පැලීයගොඩ පොලීසියට කර ඇති පැමිණිල්ලට අනූව කතාව සැකෙවින් පහත පරිදිය. මෙම කාන්තාව නුවර පාර, කැලණිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි තැනැත්තියකි.


සිය පියයුරු යුගල විශාල බැවින් එය කුඩා කර ගැනීමට ඇයට දැඩි අවශ්‍යතාවයක් මතුව ඇත.


ඒ අනූව ඉංග්‍රීසි පුවත්පතක පළවූ දැන්වීමක් දැක මිතුරියකගේ ද උපදෙස් මත මාලඹේ, තොරණ මාවත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට පසුගිය ඔක්තෝබර් මස 18 වැනිදා ගොස් තිබේ.


එහිදී පියයුරු පරික්ෂා කළ වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයෙකු සැත්කම සඳහා රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් ඉල්ලා ඇත.


පසුදින එනම් ඔක්තෝබර් 19 වැනිදා ඇය රුපියල් 50,000ක් ලබාදී එදින පෙරවරුවේ සිට පස්වරු 3.00 දක්වා පියයුරු කුඩා කර ගැනීමේ සැත්කම සිදුකර ගෙන තිබේ.


අනතුරුව ඇයට දන්වා ඇත්තේ දින 10කින් නැවත සායනයට පැමිණෙන ලෙසය.


එසේම ඉතිරි රුපියල් ලක්ෂ 2ක මුදල බැංකුවට දමන ලෙසට ඇයට ගිණුම් අංකයක් ද එම වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලබාදී ඇත.


සැත්කම් සිදුකර දින කිහිපයක් ඇවෑමෙන් පියයුරක් ආසාධනයකට ලක්ව සැරව ගැලීම නිසා ඇය දින 10කින් එනම් ඔක්තෝබර් 29දා එම වෛද්‍ය මධ්‍යස්ථානයට ගොස් සැත්කම සිදුකළ වෛද්‍යවරයා මුණගැසී තිබේ.


එහිදී වෛද්‍යවරයා‍ තමාගේ ගැටලුව ගැන නොසලකා ඉතිරි මුදල ඉල්ලූ බව එකී කාන්තාව පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.


පසුව එම කාන්තාව සිය ‍පවුලේ වෛද්‍යවරයාට මේ බව පැවසීමෙන් පසු ඔහු උපදෙස් ලබාදී ඇත්තේ මේ ගැන ජාතික රෝහලේ ප්ලාස්ටික් සැත්කම් වෛද්‍යවරයෙකු මුණ ගැසී මීට ප්‍රතිකාරයක් ලබාගන්නා ලෙසයි.


අනතුරුව ඇය ඊයේ (04) කොළඹ ජාතික රෝහලේ ‍එකී වෛද්‍යවරයා හමුවී තමන් මුහුණ පා සිටින තත්ත්වය ගැන පවසා ඇති අතර එහිදී එම වෛද්‍යවරයා ද පවසා ඇත්තේ මෙය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් සිදුකර ගත් සැත්කමක් නිසා මේ ගැන පළමුව පොලීසියට පැමිණිලි කරන ලෙසයි.


ඒ අනූව එම කාන්තාව ඊයේ පෑලියගොඩ පොලීසියට මේ ගැන පැමිණිලි කර ඇති අතර පෑලියගොඩ පොලීසිය අදාළ වෛද්‍ය මධ්‍යස්ථානය අයත් බල ප්‍රදේශයේ පිහිටි අතුරුගිරිය පොලීසියට මේ ගැන වැඩිදුර විමර්ශන සිදුකරන ලෙසට දැනුම්දී ඇත.


ඒ අනූව අතුරුගිරිය පොලීසිය මේගැන වැඩිදුර විමර්ශන මේවන විට ආරම්භ කර තිබේ.



Post a Comment