චෝදනා ගැන පරිස්සම් විය යුතුයි - යූ.ඇන්.පිය එල්.ටී.ටී.ඊය ශක්තිමත් කළා

ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති වකවානුවේ ඉන්දීය සාම සාධක හමුදා විසින් ද්‍රවිඩ ජාතික ස්ත්‍රීන් දූෂණය කළ බව නැවත පදිංචි කිරීම් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසයි.

1987-90 කාලයේ ශ්‍රී ලංකාවේ ගැටුමට මැදිහත්වූ ඉන්දීය සාම සාධක හමුදා විසින් ද්‍රවිඩ ජාතික ස්ත්‍රීන් ගණනාවක් දූෂ්‍ය කළ බවත්, ඇතැමුන් මරා දැමුණු බවත් හෙතෙම ඊයේ (04) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.


ඉන්දීය හමුදා මැදිහත්වීම සිදුවූයේ 1987 ඉන්දු-ලංකා සාම ගිවිසුම අනුව බවත්, සිදුකළ අපරාධ පිළිබඳ සාක්ෂි පවත්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.


එල්.ටී.ටී.ඊ සංවිධානයේ නැගෙනහිර දිසාව බාර නායකයා ලෙස කටයුතු කළ කරුණා අම්මාන් 2004 වසරේදී එම සංවිධානයෙන් ඉවත්වී මහින්ද රාජපක්ෂ රජයේ පළමු වරට අමාත්‍යවරයෙකුද, දෙවෙනි වරට නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වශයෙන්ද දිවුරුම් දී අද දක්වා කටයුතු කරමින් සිටියි.


තමාට එරෙහිව චෝදනා නඟන විපක්ෂය එල්.ටී.ටී.ඊය ශක්තිමත් කිරීමට අතීතයේ කටයුතු කිරීම පිළිබඳ සිහිපත් කළ මුරලිදරන් මහතා, විපක්ෂය විසින් තමාට චෝදනා කරද්දී මීට වඩා පරිස්සම් විය යුතු බවද පෙන්වාදෙයි.


එජාපයේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ එවක එල්.ටී.ටී.ඊ කාඩර්වරුන් 350 ක් පමණ සිටියදී රජය විසින් ගිනි අවි 5000 ක් ලබාදුන් බවත්, එයින් කාඩර්වරුන් 6000 ක් දක්වා බඳවාගැනීමට හැකිවූ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.



Post a Comment