කිසිදු මුදල් ගැටළුවක් නෑ - අපේ ආර්ථිකය ශක්තිමත්

අයවැයෙන් ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන දෝෂ සහිත බව විපක්ෂයේ ඇතැමුන් තර්ක කරන නමුත් එහි කිසිදු සත්‍යතාවක් නොමැති බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.

ලොව කිසිදු රටකට සංඛ්‍යා ලේඛන බොරු කළ නොහැකි බවත්, ඒවා දෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ආයතන අවධානයෙන් සිටින බවත් අමාත්‍යවරයා කියා සිටියේ අද(04) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.


එබැවින් සංඛ්‍යා ලේඛන බොරු කරනු ලැබුවහොත් දැවැන්ත ප්‍රශ්න රාශියකට මුහුණදෙන්නට සිදුවන බව දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.


මුදල් පිළිබඳ කිසිදු ගැටළුවක් රජයට නොමැති බවත්, අයවැය හිඟය බිලියන 521 ක් පමණක් බවත් ඔහු අවධාරණය කළේය.


විදේශ සංචිතවල 9.2ක් පවත්නා බවත්, 2000 වසරේ බැංකුවල මූල්‍ය ශක්තිය බිලියන 3000 ක්ව පැවතුණු නමුත් මේවන විට එය බිලියන 11000ක් දක්වා වැඩිවී ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.


රටේ ආර්ථිකය මේවන ශක්තිමත්ව පවත්නා බවත්, මිහින් ලංකා වැනි ආයතන වලටත් මුදල් ලබාදී නැඟීසිටින්නට අවස්ථාව ලබාදී ඇති බවත් ඔහු පෙන්වාදුන්නේය.


2014 මුල් මාස 6 තුළ ආර්ථික වර්ධන වේගය 7.08ක් බවත්, ගෙවුම් ශේෂය අතිරික්තයක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.


මෙම මාධ්‍ය හමුවට එක්වූ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා කියා සිටියේ විදේශ රැකියාවල නිරතවෙමින් රටට විදේශ විනිමය සොයාදෙන මිලියන 1.8ක් වැනි ජනතාවකට මෙවර අයවැයෙන් ඉමහත් සහන සලසා දී ඇති බවයි.


එකී විදේශ රටවල ශ්‍රමිකයන්ගෙන් ආවරණය වෙමින් මෙරට මිලියන 5.4ක් ජීවත්වන බවත්, ඔවුන් කෙරේ වෙනත් කිසිදු රජයක් නොදක්වනු තරමේ සැලකිල්ලක් මෙම රජය විසින් මෙවර අයවැයෙන් යොමුකර ඇතැයි ඔහු සඳහන් කළේය.


ශ්‍රී ලංකාව විසින් මානව හිමිකම් කඩකරමින් සිටින බවට ඇතැමුන් චෝදනා කළද එසේ වන්නේනම් රුසියාව හෝ චීනය වැනි රටවල් ලංකාව සමග මෙතරම් සහයෝගයෙන් කටයුතු නොකරනු ඇතැයි අවධාරණය කළේය.



Post a Comment