තිරසාරවීමට නම් පාරිසරික අතින්ද ශක්තිමත් විය යුතුයි

නියඟයක් පැමිණි විට, ගංවතුරක් පැමිණි විට, නායයෑමක් සිදුවූ විට දුප්පත්කම එහා මෙහා වන්නේ නම් ඒ දුප්පත්කම අනතුරුදායක මට්ටමක පවත්නා බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මෙම දුප්පත්කම තිරසාරව මැඩලීම සඳහා දුප්පත්කම 3% ට වඩා අඩුකළ යුතු බවත්, එවැනි තත්ත්වයක් අත්පත්කරගෙන තිබෙනුයේ ගම්පහ සහ කොළඹ දිස්ත‍්‍රික්ක පමණක් බවත් අමාත්‍යවරයා කියා සිටියි.


අනෙක් ප‍්‍රදේශවලත් තිරසාරව දුප්පත්කම නැති කිරීම සඳහා විද්‍යාව සහ දැනුම, තාක්ෂණය හරහා ගොඩනැගෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ප‍්‍රබල අවියක් වන බවද තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියි.


අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද(04) උදෑසන කාර්මික තාක්ෂණ ආයතන පරිශ‍්‍රයේදී ‘‘විදුහුරු හෙටක් තිරසර රටක්’’ ජාතික විද්‍යා සතිය 2014 ප‍්‍රකාශයට පත්කරමිනි.


රටක් තිරසර වීමට රටේ ජනතාව ආර්ථීක අතින් මෙන්ම පාරිසරික අතින්ද ශක්තිමත් විය යුතු අතර සමාජය අතර අසමානතාව තුනීවී සමානාත්මතාවයෙන් යුතු සමාජයක් බිහිවිය යුතුව ඇති බවත්, මේ සඳහා විද්‍යාවට හා තාක්ෂණයට මහා මෙහෙවරක් කළ හැකි අතර එය ප‍්‍රායෝගික කිරීම මෙවර විද්‍යා සතියට අරමුණු කර ගත් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.


පසුගියදා අමාත්‍යාංශය විසින් විද්‍යාඥයින් රාශියක් සම්බන්ධ කරගෙන රටට අවශ්‍ය විද්‍යා තාක්ෂණ සැලැස්මක අනුරුවක් සකස් කළ බවත් විද්‍යාඥයින්, වෘත්තීයවේදීන්, ව්‍යාපාරිකයන් සහ සාමාන්‍ය ජනතාව විශාල පිරිසක් සමඟ සාකච්ඡා කොට විධිමත් ආර්ථික සැලැස්මක් ලෙස ජනාධිපතිතුමාට හා රජයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.


එහිදී ඔහු මෙසේද කියා සිටියේය.


එමඟින් 2015 සිට 2020 දක්වා කාලය තුළ විධිමත් ආයෝජනයක් විද්‍යා හා තාක්ෂණ ක්ෂේත‍්‍රයේ සිදු කිරීමෙන් ශ‍්‍රී ලංකාව අද මුහුණ පා ඇති ආර්ථික, සමාජ හා පාරිසරික ගැටළුවලින් මිදිය හැකිය. පසුගියදා කොස්ලන්ද ප‍්‍රදේශයේ ඇතිවූ ඛේදවාචකය ඉදිරියේදී ඇතිවීමට නියමිත පරිසර ව්‍යසනයේ පෙරනිම්ත්තක් ලෙස පෙන්වා දිය හැකි අතර මීට මාස කිහිපයකට පෙර බදුල්ලේ පැවතියේ බීමට වතුර පොදක් නැති දැඩි නියඟයකි. දැන් පවතින්නේ ගංවතුර හා නායයෑම්ය. මේ ප‍්‍රවණතාවය ඉදිරියටත් එසේම පැවතිය හැකි අතර මේ තත්ත්වයෙන්ම රට ඉදිරියට ගියහොත් ජලය හිඟ කමත්, ජලය වැඩිකමත් නිසා ජල ආතතිය විසින් අනාගතයේදී රටම බිලි ගැනීමට ඉඩ තිබේ.


‘‘විදුහුරු හෙටක් තිරසර රටක්’’ සංකල්පය පරිසර සංරක්ෂණය සඳහා ඉතා අත්‍යාවශ්‍යය. මේ රටේ අනාගත ආශ්චර්ය ගොඩනඟා ගැනීමට විද්‍යා තාක්ෂණයට අප විසින් ආයෝජනය කළ යුතුමය. අද ලෝකයේ ඉහළ ගණයේ තාක්ෂණ නිර්මාණ සිදුවන කාර්මීකරණයේ ප‍්‍රධානම එන්ජිම ආසියාව බවට පත්වෙමින් තිබේ. අද නව තාක්ෂණයේ යෝධ පිමි තුළින් ඉදිරියට යාමට ආසියානු කලාපයේ රටවල් සමත් වී තිබේ. යුරෝපයේ පැවති තත්ත්වය ආසියාවට ලැබෙමින් තිබේ. ශ‍්‍රී ලංකාවද වහාම කලාපයේ පවතින උගත්ම, නැණවත්ම සමාජ බලය තිබෙන ස්ථානය ලෙස ඉදිරියට පැමිණිය යුතුයි. මේ විද්‍යා සතියේ අපේ ප‍්‍රධාන අරමුණ මෙම මතය සමාජයට ගෙන යාමයි.


අදින් ඇරඹෙන මෙම විද්‍යා සතිය අනාගතයේදී සංවර්ධනයේ මහා ඉදිරි පිමි දකින, මහා විද්‍යා නිර්මාණ දකින, ලෝකය ජය ගැනීමට විශ්වයට අභියෝග කළ හැකි විද්‍යාත්මක පිරිසක් බිහිකිරීමට පදනමකි. අතීතයේදී අපේ රට ලෝකයේ විද්‍යා තාක්ෂණ ක්ෂේත‍්‍රයේ යම් තැනක බැබළුනාද ඒ බැබළුණු මුතු ඇටය බවට නැවතත් මේ ශ‍්‍රී ලංකාව පත්කර ගැනීමට අවශ්‍ය කරන මුල්පියවර මේ විද්‍යා සතියෙන් අත්පත් කරගැනීමට හැකිවෙනවා.



Post a Comment