කාලගුණයේ අයහපතින් පුත්තලමේ පවුල් 1215ක් අමාරුවේ

අයහපත් කාලගුණය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 1215 ක පුද්ගලයින් 4221 ක් පීඩාවට පත්වී සිටින බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

පීඩාවට පත්ව ඇති පවුල් අතරින් පවුල් 47 ක සාමාජිකයින් 199 ක් දෙනෙකු අවතැන් වී සිටින බව සඳහන්ය.


පීඩාවට පත්වී සිටින පිරිස් සදහා මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මැදගොඩ සහ මෝදරවැල්ල යන ප්‍රදේශ වල අවතැන් කදවුරු 04 ක් ස්ථාපනය කර තිබේ.


පවතින තත්ත්වය හමුවේ වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ බවත්,ඒ අනුව හලාවත පවුල් 750 පුද්ගලයින් 2300 ක් පීඩාවට පත්වී ඇති බවත් අද දෙරණ වාර්තාකරු පවසයි.


දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 14 ක පුද්ගලයින් 19 දෙනෙකුද,නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 40 ක පුද්ගලයින් 130 ක්ද පීඩාවට පත්ව ඇත.


මාදම්පේ පවුල් 40 ක පුද්ගලයින් 150 ක්ද,මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 150 ක පුද්ගලයින් 655 ක්ද,මහවැව පවුල් 231ක පුද්ගලයින් 967 ක්ද පීඩාවට පත්ව සිටිති.


අවතැන් කදවුරු වල සිටින පිරිස් වෙනුවෙන් අවශ්‍ය සුභ සාධන කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් සිදු කර ගෙන ඇත.


තුංතොට ඔය සහ කඩුපිටි ඔය පිටාර ගැලීම හේතුවෙන් මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් පීඩාවට පත්ව සිටින අතර සෙසු ප්‍රදේශ වල වැසි ජලය බැස නොයාම මෙම තත්ත්වයට හේතුව බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය කියා සිටියි.



Post a Comment