පෝස්ටර්, කටවුට් මුදල් වලින් වකුගඩු රෝගීන්ට අරමුදලක් හදනවා - මෛත්‍රී

තමන් ජනපතිට ද්‍රෝහි නොවූ බවත්, ද්‍රෝහි වූයේ අල්ලසට හා වංචාවට යැයි පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා අද (30) පොළොන්නරුවේදී මංගල ජන රැළිය අමතමින් පැවසීය.

තමා රජයෙන් ඉවත්වීමත් සමඟ රජය දෙදරා ඇතැයි ද, හෙට අනිද්දා වන විට තවත් පිරිසක් රජයෙන් ඉවත්ව යනු ඇතැයිද හෙතෙම කියා සිටියේය.


තුනෙන් දෙකේ බලය තිබූ ආණ්ඩුව රටට වැඩක් නොකළ බවත් එම බලය භාවිතා කළේ ව්‍යවස්ථාවේ 18 වැනි සංශෝධනය සම්මත කර ගැනීමටත්, එමගින් ජනපතිවරණයට දෙවරට වැඩි වාර ගණනක් සීමාව ඉවත් කර ගැනීමට බවත්, හෙතෙම පැවසීය.


ක්ෂේත‍්‍ර නිලධාරීන්ට දැනට ලබාදෙන යතුරුපැදි තමන් බලයට පත් වූ විට නොමිලේම ලබාදෙන බවද මෛත‍්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.


එසේම ඉදිරි ජනාධිපතිවරණයේදී බැනර්, කටවුට් සහ පෝස්ටර් සඳහා යන සියලු වියදම් එකතු කර රටේ දුක් විඳින ජනතාවට සේවය කිරීමට අරමුදලක් පිහිටුවන බවද මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේය.


තමන් පොදු අපේක්ෂකයා ලෙස තෝරාගැනීමෙන් පසු බොහෝ දෙනෙක් ඇවිත් කොඩි අදින්න, පොලිතින් ගන්න, කටවුට් ගහන්න අපි සල්ලි දෙන්නම් යැයි කියු බවද, එහෙත් තමාගේ මැතිවරණ ව්‍යාපාරයේ පොලිතීන් කටවුට් නැති බවද, ඔහු පැවසීය.


තමාගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රචාරණ කටයුතු සඳහා ලබාදෙන මුදල් වකුගඩු රෝගීන් වෙනුවෙන් ආධාර මුදලක් ලෙස ආරම්භ කිරීමට සුදානම් බවද හෙතෙම කියා සිටියේය.


වැඩිදුරටත් ඔහු කියා සිටියේ තමාගේ රුව කටවුට් වල නොව රටේ ජනතාවගේ හදවත් වල ඇතැයි තමන් පැහැදිලිව දන්නා බවයි.


මෙම ජනහමුව සඳහා මහ සංඝරත්නය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක, ඇතුළුව විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයකම නියෝජිතයින් ඇතුළුව විශාල ජනතාවක්ද එක්ව සිටියහ.


“එක් අහසක් යට එක යායට රට“ යනුවෙන් මැතිවරණ වේදිකාව සකසා තිබිණ.


එසේම ඉහළින් එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතාගේ සහ ඩී. එස් සේනානායක මහතාගේ ඡායාරූප දෙකක්ද එහි තබා තිබුණි.



Post a Comment