ඉන්දීය ධීවරයින්ට සමාවදීම ගැන මෙතෙක් තීරණයක් ගෙන නෑ

මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් වරදකරුවන් වී කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම නියම වූ ඉන්දීය ධීවරයින් පස්දෙනාට සමාවදීමට මේ දක්වා තීරණයක් ගෙන නැතැයි ජනපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක මහතා පවසයි.

මොහාන් සමරනායක මහතා ඉන්දියාවේ “ද හින්දු පුවත්” පත කළ විමසුමකට ප්‍රතිචාර වශයෙන් මේ බව පවසා ඇත.


කෙසේ වුවද ඉන්දීය ධීවරයින්ට සමාව ලබාදීමට ජනපති මහින්ද රාජපක්ෂ මහතා එකඟ වූ බව විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතා එම පුවත්පතට ප්‍රකාශයක් කර තිබේ.


ප්‍රභා ගනේෂන් මහතා ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඊට පෙර දින සාකච්ඡාවක් පවත්වා තිබිණ.


එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ඉන්දීය ධීවරයින්ට සමාව ලබාදීමට තීරණය කළ බැව් හෙතෙම හින්දු පුවත්පතට පවසා තිබේ.


කෙසේ වුවද මෙහිදී ජනපතිවරයාගේ අවධානය යොමුව ඇත්තේ ඉන්දීය ධීවරයින්ට ලබාදුන් මරණ දඬුවම ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් බවට පත්කිරීමේ හැකියාව පිළිබඳව යැයි ද ජනපති මහින්ද රාජපක්ෂට සමීප ආරංචි මාර්ග උපුටා දක්වන හින්දු පුවත්පත කියයි.



Post a Comment