හොඳම පොදු අපේක්ෂක මහින්දයි - හෙළ උරුමයේ යෝජනා පිළිගත යුතුයි

ජාතික හෙළ උරුමයේ යෝජනා ආණ්ඩුව විසින් පිළිගත යුතුව ඇති බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

ජනතා ආණ්ඩුව ජනතාවට කන්දිය යුතුව ඇති බවත්, මෙවැනි බලපෑම් නොකළහොත් ආණ්ඩුව ඉබාගාතේ යන බවත් උන්වහන්සේ කියා සිටියේ අද(28) කොළඹ පැවති මාධ්‍ය හමුකදීය.


සිංහල-බෞද්ධයන්ටද මේවන විට පීඩනය දැනෙන බැවින් තමන් ආණ්ඩුවට කියා සිටින්නේ ‘ළඟ නොබලා දුර බලන්න‘යයිද ඥානසාර හිමියන් සඳහන් කළේය.


‘අපි වවමු-රට නඟමු‘ යයි බෝඩ් අල්ලාගෙන ගියද තාමත් දඹුල්ලේ එළවළු කුණුවෙමින් පවත්නා බව උන්වහන්සේ පෙන්වාදුන්නේය.


අප රටේ සංවර්ධනය යනු අමෙරිකාවෙන් ණයට අරන් ඕස්ට්‍රේලියාවෙන් ඇපල් කෑමට සමාන බවත්, පාරවල් තැනීම ,ගොඩනැඟිලි තැනීම අතීතයේද සිදුකෙරුණු බවත් ඥානසාර හිමියන් අවධාරණය කළේය.


පොදු අපේක්ෂකයෙකු පිළිබඳ මතුවන කතිකාව පිළිබඳ මාධ්‍යවේදියෙකු විමසන ලද පැනයකට ප්‍රතිචාර දක්වමින් ඥානසාර හිමියන් කියා සිටියේ හැංගි මුත්තං කෙළින බවක් මිස තාමත් පොදු අපේක්ෂකයෙකු පැහැදිලිව දැකගත නොහැකි බවයි.


සන්ධානයෙන් තරඟ කරනුයේ මහින්ද රාජපක්ෂ මහතා බව දැනටමත් දන්නා බවත්, ඔහුගේ සුදු තැන් හා කළු තැන් හඳුනන බවත්, ඔහුට අභියෝග කළ හැකි උඩු රැවුළක් සහිත නියම පිරිමියෙකු දකින්නට නොමැති බවත් උන්වහන්සේ සඳහන් කළේය.


කවුරුන් හෝ මතුවෙතැයි අපේක්ෂාවෙන් මැද්දටවී තමන් සිටින බවත්, ඒ අර්ථයෙන් සන්සන්දනය කර බැලුවහොත් හොඳම පොදු අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මහතාම බවත්, ඔහු වටේ ඔය කියන වර්ගයේ හැම කෙනෙකුම ඒකරාශිවී සිටින බවත් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේය.



Post a Comment