අපේ කට්ටිය ගැන ලිහිල් වෙන්න කියයි

ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින රළු ස්වභාවය හේතුවෙන් පැමිණෙන ශ්‍රී ලාංකික ධීවරයින් සම්බන්ධයෙන් ලිහිල් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස මියන්මාරය සහ බංග්ලාදේශයට දැනුම් දී තිබේ.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නිමල් හෙට්ටිආරච්චි මහතා පැවසුවේ දකුණු මුහුදු තීරයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයින් පිරිසක් කළ ඉල්ලීමට අනුව මෙම පියවර ගත් බවයි.


ගාල්ල, මාතර ආදී ප්‍රදේශ වලින් ධිවර යාත්‍රා 30කින් පමණ මුහුදු ගිය සිය දෙනෙකුට ආසන්න පිරිසක් මෙම ඉල්ලීම කර ඇති බව සඳහන්ය.


මුහුදේ රළු ස්වභාවය සහ අධික සුළං තත්ත්වය මත රෙමට මුහුදු සීමාවෙන් ඔබ්බට ගමන් කරන බවට අදාළ ධීවරයින් ධීවර දෙපාර්තමේන්තුවට දැනුම්දි ඇති බව නිමල් හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.


මෙම තත්ත්වය මත මියන්මාරය සහ බංග්ලාදේශය මුහුදු සීමාවන්ට පැමිණෙන ශ්‍රී ලාංකික ධීවරයින් අත්අඩංගුවට ගැනීමෙන් වැළකී ඔවුන් සම්බන්ධයෙන් ලිහිල් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසට එරට බලධාරින්ට දැනුම්දුන් බව ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නිමල් හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.



Post a Comment