අධ්‍යාපනය විනාශ කිරීමේ කොන්ත්‍රාත්තුව එස්.බී ටයි

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් අධ්‍යාපනය විනාශ කිරීමේ කොන්ත‍්‍රාත්තුව බාරදී ඇත්තේ අමාත්‍ය එස්.බී දිසානායකට බැව් ජ.වි.පෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී,සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පවසයි.

සබරගමුව විශ්වවිද්‍යාලය මේවනවිට වසා දමා ඇති බවත්, සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් තමන්ට තිබෙන ගැටළු ගණනාවක් පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමුකරවීමට කාලයක් තිස්සේ පඹහින්න හන්දියේ සත්‍යග‍්‍රහයක නිරතව සිටි බවත් රත්නායක මහතා සිහිපත් කළේය.


එසේ වුවද එස්. බී. දිසානාකයත් ආණ්ඩුවත් සිසුන්ගේ ගැටළු පිළිබඳව අවධානය යොමුනොකළ බව ඔහු කියා සිටියේ අද(06) බත්තරමුල්ල ජ.වි.පෙ ප්‍රධාන කාර්යාලයේ පැවති සමාජවාදී තරුණ සංගමය විසින් පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්න වලට ප්‍රතිචාර දක්වමිනි.


එස්.බී. අමාත්‍යවරයා කටයුතු කරමින් ඉන්නේ අපේ රටේ අධ්‍යාපනය විනාශ කිරීමට බවත්, ඔහු ශිෂ්‍යයින් පිළිබඳව කටයුතු කරමින් තිබෙන්නේ ඉතා වෛරීසහගත ලෙස බවත් රත්නායක මහතා මෙහිදී අවධාරණය කළේය.


වධකයෙකු ලෙස අමාත්‍යවරයා සිසුන් දෙස බලන බවත්, ශිෂ්‍යයින්ගෙන් පළිගන්නා සුළු කි‍්‍රයාමාර්ග ගනිමින් ඇති බවත්, අධ්‍යාපන ක්ෂේත්‍රයට දේශපාලන හෙංචයියන් පත්කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.


එස්.බී. දිසානායකගේ පුතා පෞද්ගලික විශ්වවිද්‍යාල ප‍්‍රමිතිකරණය පිළිබඳ තනතුරකට පත්කරඇති බවත්, ඔහුට කිසිම දේශපාලන සදාචාරයක් නැති බවත්, ඔහු කට නිසා අවුල් හදාගත්ත පුද්ගලයෙකු බවත් රත්නායක මහතා සිහිපත් කළේය.


”ඡන්දය නිසා ඉවසනවා. නැත්නම් අපි ශිෂ්‍යයන්ට මීට වඩා හොඳට සලකනවා” යයි පවස අමාත්‍යවරයාගේ ප‍්‍රකාශයෙන් මෙම ආණ්ඩුව සිසුන්ට සලකන්නේ කෙසේද යන්න පැහැදිලි වන බවත්, මෙම ප‍්‍රශ්නය එස්.බී. දිසානායකට ලඝු කිරීම ගැළපෙන්නේ නැති බවත් ඔහු පෙන්වා දුන්නේය.


එස්.බී. පත්කළේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් බවත්, එස්.බී. කටයුතු කරමින් ඉන්නේ ජනාධිපතිවරයාගේ නියෝගයන්ට අනුව බවත්, ඒ නිසා මෙහි වගඋත්තරකරුවා වන්නේ ජනාධිපතිවරයා බවත් බිමල් රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.



Post a Comment