කුලපති ඉන්නවා කියයි - ශිෂ්‍ය සංගම් නෑ කියයි

සබරගමු විශ්ව විද්‍යාලය දින නියමයක් නැතිව වසා දැමුණද සිසුන් පිරිසක් තවදුරටත් විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරවල රැඳී සිටින බව වාර්තා වේ.

සිසුවියන්ගේ විනය විරෝධි ක්‍රියාවක් හේතුවෙන් සබරගමුව විශ්ව විද්‍යාලය පසුගිය ඉරිදා සිට තාවකාලිකව වසා දැමුණි.


ඒ අනුව පසුගිය ඉරිදා සවස 6 වන විට සියලුම සිසුන්ට නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙස විශ්ව විද්‍යාල පාලනාධිකාරිය දැනුම් දුන්න ද මේ වන තුරුත් සිසුන් නේවාසිකාගාරවල රැඳී සිටින බව වාර්තා වේ.


සිසුන් 60 දෙනෙකු මෙලෙස නේවාසිකාගාරවල රැඳී සිටින බව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කළේය.


කෙසේ වෙතත් මෙම සිසුන් නීතිමය ක්‍රියාමාර්ගයකින් ඉවත් කිරීමට කටයුතු කරන බව උපකුලපතිවරයා පැවසුවේය.


සියලුම සිසුන් නේවාසිකාගාරවලින් ඉවත් කිරීමෙන් අනතුරුව විශ්ව විද්‍යාලය නැවත ආරම්භ කරන දිනය පිළිබඳව සාකච්ඡා ආරම්භ කරන බව ද උපකුලපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා අද දෙරණට සඳහන් කළේය.


කෙසේ වෙතත් උපකුලපතිවරයා ඊයේ දිනයේ ප්‍රකාශ කළේ පාලනාධිකාරියේ අණ නොතකමින් විශ්ව විද්‍යාලය තුළ රැඳි සිටින සියලු සිසුන්ගේ ශිෂ්‍යභාවය සම්පූර්ණයෙන්ම අහෝසි කරන බවයි.


මේ අතර සබරගමුව ශිෂ්‍ය එකමුතුවේ කැඳවුම්කරු රසිඳු ජයසිංහ සඳහන් කළේ නේවාසිකාගාර තුළ කිසිදු සිසුවෙකු නොමැති බවත් සත්‍යග්‍රහයේ නිරතව සිටින සිසුන් පමණක් විශ්ව විද්‍යාලය තුළ රැඳී සිටින බවයි.



Post a Comment