පාසලට ළමයා ගන්න ලක්ෂ 3ක් ඉල්ලු විදුහල්පති ඇල්ලු හැටි

ගාල්ල, ලබුදූව සිරිධම්ම විද්‍යාලයේ පළමු වසරට ළමයෙකු ඇතුළත් කර ගැනීම සඳහා පියෙකුගෙන් රුපියල් ලක්ෂ 3ක මුදලක් ඉල්ලූ එම විද්‍යාලයේ විදුහල්පතිවරයා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද එම මුදල ලබා ගන්නා අවස්ථාවේදී සැකකාර විදුහල්පතිවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනිණ.


එම ළමයාගේ සහෝදරයෙකු ද එකී පාසලේ අධ්‍යාපනය ලබන බවද පැවසෙයි.


එසේ තිබියදී විදුහල්පතිවරයා ළමයා ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 3ක මුදලක් අදාළ පියාගෙන් ඉල්ලා ඇත.


පාසලකට ළමයින් ඇතුළත් කර ගැනීමේදී කවර හෝ පුද්ගලයෙකු මුදල් ඉල්ලා සිටින්නේ නම් ඒ ගැන දැනුවත් කරන ලෙසට අධ්‍යාපන ඇමතිවරයා පසුගියදා මාධ්‍ය මගින් ප්‍රකාශයක් කර තිබුණි.


එම කාරණාව සිහිපත් වී පියා මේ ගැන අප මාධ්‍ය ආයතනයට දැනුම්දීමක් කරන ලදී.


ඒ අනූව මෙම සිද්ධිය අප ආයතනය විසින් අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතාට දැනුම්දුන්නේය.


එහි ප්‍රතිඵලයක් ලෙස ඇමතිවරයා අල්ලස් කොමිසමට මේ ගැන දැනුම්දීමක් කර තිබිණ.


ඒ අනූව සැලසුම ක්‍රියාත්මක කෙරුණි.


සැලසුමට අනූව අද දිනයේදී අල්ලස් කොමිසමේ නිලධාරිණියක හා කැටුව දරුවාගේ පියා මුදල් ද රැගෙන පාසලට ගොස් විදුහල්පතිගේ කාර්යාලයේදී එකී මුදල ඔහු අත තැබීය.


එම අවස්ථාවේදී විදුහල්පතිවරයා අල්ලස් දැලට හසුවිය.


සැකකාර විදුහල්පතිවරයා මේවන විට ගාල්ල පොලීසියට කැඳවාගෙන විත් තිබේ.



Post a Comment