ලස්සන කරන වෙදාට ඇපත් නෑ

බම්බලපිටිය ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් තුළ දී එන්නතක් විෂ වී වෛද්‍යවරියක මියයාමේ සිද්ධියට චෝදනා එල්ල වී සිටින වෛද්‍ය නිමල් ගමගේ මහතාට ඇප ලබාදීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

සැකකරු ඊයේ(25) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ලබන මස පළමු වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.


අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන පොලීසිය අධිකරණයට දැනුම් දී සිටියේ සැකකරු එන්නතක් ලබාදුන් තවත් කාන්තාවක රෝගාබාධ වී එංගලන්තයේ සිටින බවට ඊමේල් මගින් දැනුම් දී ඇති බවයි.


ඊට අමතරව කුරුණෑගල ප්‍රදේශයේ 13න් හැවිරිදි දැරියකගේ සුදු කබරවලට මොහු ප්‍රතිකාර කිරීමෙන් පසු එය වැඩි වු බව එම දැරියගේ පියා ද පොලීසියට පැමිණිලි කර තිබේ.


මෙම සැකකාර වෛද්‍යවරයා බලවත් පුද්ගලයෙකු බවත්, ඔහු රක්ෂිත බන්ධනාගාරයේ සිටියදී පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දී ඇති බවත් පොලීසිය විසින් අධිකරණයට දැනුම් දී සිටියේය.


ඒ අනුව මහේස්ත්‍රාත්වරයා අදාළ පුවත්පතේ ලිපිය ලියු මාධ්‍ය වේදියාටත් ඔහු බන්ධනාගාරයේ සිටියදී මෙවැනි ලිපියක් ලිවීම සඳහා සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට ඉඩදීම පිළිබඳ බන්ධනාගාර කොමසාරිස්වරයාටත් ලබන පළමු වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.


අදාළ රූපලාවන්‍යාගාරයේ තිබෙන සියලු බෙහෙත් වර්ග සහ ආලේපන කල් ඉකුත් ඒවා වන අතර එහි සේවය කරන හෙදියන් සුදුසුකම්ලත් හෙදියන් නොවන බවත් පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේය.


අත්අඩංගුවේ සිටින මෙම වෛද්‍යවරයා සියලු ආචාර ධර්ම උල්ලංඝණය කරමින් කටයුතු කර ඇති අතර තවදුරටත් එම මධ්‍යස්ථානයේ තබා ඇති රූපවාහිනි කැමරා සෝදිසි කළ යුතු බව පොලීසිය පැවසුවේය.


මේ අතර අධිකරණයට පැමිණි අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් පවසා ඇත්තේ සැකකාර වෛද්‍යවරයාට මීට පෙර අමෙරිකාවට යාම සඳහා ලබා දි තිබු අවසරය අහෝසි කර ඇති බවයි.



Post a Comment