ජනපති වෙත ලිපියක් යවමින් එහි ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා පෙන්වාදෙන්නේ අප රටේ නිෂ්පාදන ක‍්‍රියාවලියට සැබෑ ලෙසම දායක වන්නේ ශ‍්‍රී ලංගම සේවකයින් බවයි.
දවසේ පළමු ගමන් වාරය සහ අවසන් ගමන් වාරය අනිවාර්යයෙන්ම ශ‍්‍රී ලංගමය මගින් ධාවනය කරන බවත්, ඊට අමතරව පාසල් ළමුන් ප්‍රවාහනයට ද ලංගම සුවිශේෂී මෙහෙවරක් කරන බැවින් සිය ඉල්ලීම ගැන සලකා බලන්නැයි එම ලිපියෙන් ඒ මහතා ඉල්ලා සිටියි.
එකී ලිපිය වැඩිදුරටත් පහත පරිදිය.
ගරු ජනාධිපතිතුමනි,
රජයේ සේවකයන්ට යතුරු පැදි ලබාදෙන ආකාරයටම තීරුබදු රහිතව ශ‍්‍රී ලංගම සේවකයන්ට ද යතුරුපැදි ලබාදීමට කඩිනමින් මැදිහත්වන ලෙස නැවත ඉල්ලා සිටීම.
මේ මොහොත වන විට රජයේ සේවකයින්ට සහනදායක ලෙස යතුරුපැදි ලබාදීමේ ක‍්‍රියාවලියක් සිදුවේ. එය යහපත් ක‍්‍රියාවක් ලෙස අප සංගමය පිළිගන්නෙමු. ශ‍්‍රී ලංගම සේවකයන්ට ද රජයේ සේවකයන්ට යතුරු පැදි ලබාදෙන ආකාරයටම යතුරුපැදි ලබාදීමේ ක‍්‍රමවේදයක් කඩිනමින් ක‍්‍රියාත්මක කරවීමට මැදිහත්වන ලෙස අප සංගමය ඔබතුමාගෙන් 2014.08.26 වන දින මගේ අංක ස.ල.ප‍්‍ර.සේ.ස 30 යටතේ ලිඛිතව ඉල්ලා සිටින ලදී.
එහි පිටපත් ගරු ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්තුමාට, ප‍්‍රවාහන ඇමතිතුමාට, ශ‍්‍රී ලංගම සභාපතිතුමාට යොමු කරන ලදී. ප‍්‍රවාහන අමාත්‍යාංශ ලේකම් කාර්යාලයෙන් මේ සම්බන්ධව අවශ්‍ය කටයුතු සිදුකරන බව සඳහන් කර ශ‍්‍රී ලංගම සභාපතිතුමාට ලිපියක් යොමුකර අප සංගමයටද පිටපතක් එවා ඇත. එම ලිපියේ පිටපත ඔබතුමාගේ කාරුණික අවධානය සඳහා මේ සමඟ අමුණා එවන්නෙමු. ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ ශ‍්‍රී ලංගම සභාපතිවරයා මැදිහත්වී ශ‍්‍රී ලංගම සේවකයින්ට යතුරු පැදි ලබාදීමේ ක‍්‍රමවේදයක් මෙතෙක් ස්ථාපිත කර නොමැත.
අප රටේ නිෂ්පාදන ක‍්‍රියාවලියට සැබෑ ලෙසම දායක වන්නේ ශ‍්‍රී ලංගම සේවකයින්ය. දවසේ පළමු ගමන් වාරය සහ අවසන් ගමන් වාරය අනිවාර්යයෙන්ම ශ‍්‍රී ලංගමය මගින් ධාවනය කරනු ලැබේ. ඊට අමතරව පාසල් ළමුන් රජයේ සේවකයන් ඉතා සහනදායක ක‍්‍රමවේදයකට ප‍්‍රවාහනය කරනු ලබන්නේ ශ‍්‍රී ලංගමය මගින් පමණි. රජයේ සේවකයන්ට ඔබතුමා තීරු බදු රහිතව යතුරු පැදි ලබාදෙන අතර රජයේ සේවකයන් ප‍්‍රවාහනය කරනු ලබන ශ‍්‍රී ලංගම සේවකයන්ට ද එම අයිතිය ලබාදීමට මැදිහත්වීම ඉතා අගනා කාර්යයකි. ශ‍්‍රී ලංගමය කරනු ලබන්නේ අනෙකුත් සේවාවන් කරනු ලබන ආයතන සමානවම ඉමහත් සේවාවක්ය.
දවසේ පළමු ගමන් වාරය ධාවනය කිරීමට ඩිපෝවට පැමිධෑමට සහ අවසන් ගමන් වාරය ධාවනය කිරීමෙන් පසුව ආපසු නිවෙස්වලට යාමට ශ‍්‍රී ලංගම සේවකයින්ට ඉමහත් දුෂ්කරතාවයන්ට මුහුණදිමට සිදුවේ. එම සියලූ දුෂ්කරතාවයන් විඳ දරාගෙන ශ‍්‍රී ලංගම සේවකයින් අප රටේ මගී ජනතාවට ඉතා යහපත් ප‍්‍රවාහන සේවයක් සපයනු ලැබේ. ශ‍්‍රී ලංගම සේවකයින්ට ධෛර්ය ලබාදීමට සහ ඔවුන්ගේ සේවාව විධිමත්ව නිසි වේලාවට ලබාගැනීමට එම සේවකයින් හටද රජයේ සේවකයන්ට යතුරුපැදි ලබාදෙන ආකාරයටම තීරු බදු රහිතව යතුරු පැදි ලබාදීමට කඩිනමන් මැදිහත්වන ලෙස අප සංගමය ඔබතුමාගෙන් ඉමහත් ගෞරවයෙන් නැවත වතාවක් ඉල්ලා සිටින්නෙමු.
ස්තූතියි.
මෙයට - විශ්වාසී,
සේපාල ලියනගේ
ප‍්‍රධාන ලේකම්

Post a Comment