ඌවේ හිටපු මහ ඇමති ජනතාවට වැඩ කළානම් විවාදයට බය ඇයි?

ඌවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මෙන්ම මෙවර ප්‍රධාන අමාත්‍යධූර අපේක්ෂකයා වන ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට එජාපයේ ප්‍රධාන අමාත්‍යධූර අපේක්ෂකයා විසින් විවෘත විවාදයකට ආරාධනා කර ඇතත් එකී අභියෝගය මෙතෙක් බාරගෙන නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

ඌව සංවර්ධනය කර ඇත්නම්, ඌවේ ජනතාවගේ ප්‍රශ්න විසඳා ඇත්නම් ඔහුට ඉදිරියට පැමිණ තමන් කළ කී දේ පිළිබඳ කිසිදු බියකින් සැකයකින් තොරව කරුණු දැක්විය හැකිව ඇති බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා කියා සිටියි.


ප්‍රධාන අමාත්‍යවරයා හෝ සෙසු ඇමතිවරුන් පළාත් සභාවේ මසකට 3-4 වරක් පැවැත්වෙන රැස්වීමට හෝ නිසියාකාරව සහභාගිවී නොමැති බවට ආරංචි පළ වන බවත්, එම රැස්වීම් වලට සහභාගි විය යුතු බවට ආණ්ඩුකාරවරයා විසින් ඔවුන්ට දැනුම්දීම් පවා සිදුකර ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියේ අද(25) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.


එලෙස කිසිදු සැලකිය යුතු සේවයක් ඌව ජනතාවට නොකළ ආණ්ඩුව මේ දිනවල ජනතාවගෙන්ම ගසා කෑ මුදල් වලින් මහන මැෂින්,සෙවිලි තහඩු, උදලු තල,වැසිකිළි පෝච්චි ආදිය බෙදමින් සිටින බවත්, සිදුවිය හැකි පරාජයෙන් වියරු වැටී මේවන විට විපක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලවට පවා පහරදෙන තත්ත්වයක් දකින්නට ලැබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.


කුමන භීෂණ තත්ත්වයක් මවා පෑවද මෙවර ඡන්දයේදී ඌවේ ජනතාව ආණ්ඩුවට එරෙහිව නැඟී සිටීම වළක්වනු නොහැකි බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.


ජනතාවට කිසිදු සහනයක් ලබා නොදුන් ආණ්ඩුව හදිසියේ වෙස්සන්තරලා වී එක් එක් බඩු භාණ්ඩ බෙදා දෙමින් සිටියද ඡන්දය ලබා ගත් වහාම මේ උදවිය යළි දේවදත්තලා වන බව මේවන විට ජනතාව තේරුම් අරගෙන සිටින බව කරුණාතිලක මහතා සඳහන් කළේය.


කිසිදු සහල් හිඟයක් නොමැති බවට වහසි බස් දෙඩූවද ගිය වසරේ හාල් මෙට්‍රික් ටොන් 23,000 ක් විදේශයන්ගෙන් ආනයනය කර ඇති බවත්,වියළි මිරිස් ටොන් 44,000 ක්ද, කුරක්කන් මෙට්‍රික් ටොන් 12,000 ක් ගෙන්වා ඇති බවත්, ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම කුරක්කන් ගෙන්වා ඇත්තේ ගිය වසරේදී බවත් හෙතෙම අවධාරණය කළේය.


ආණ්ඩුවේ ‘මතට තිත‘ වැඩපිළිවෙළද අර රජතුමාගේ සීතාම්බර පට කතාවට සමාන බවත්, මේවන විට සහල් මිල ඉහළ ගොස් ඇත්තේ ‘බියර් සමාගම්‘විසින් සහල් බියර් නිෂ්පාදනයට යොදා ගැනීම නිසා බව ගොවි සංවිධාන විසින් පෙන්වා දී ඇති බවත් ඔහු කියා සිටියේය.


මේවන විට එතනෝල් එන්නේ කන්ටේනර් පිටින් බවත්, කුඩු එන්නේ ටොන් ගණනින් බවත්, එතනොල් හෝ කුඩු අත්අඩංගුවට ගනු ලැබුවද ගෙනෙන උන් නැති බවත්, එකී අත්අඩංගුවට ගත් කුඩු විනාශ කරන තැනක් සොයාගන්නට නොහැකි බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.



Post a Comment