ගාමිණී කොරයාගේ අභාවය පිළිබඳව ජනපතිගේ ශෝකය

ගාමිණී කොරයාගේ අභාවය පිළිබඳව ජනපතිගේ ශෝකය


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ආචාර්ය ගාමිණී කොරයා මහතාගේ අභාවය පිළිබඳව ශෝකී පණිවුඩයක් නිකුත් කළ තිබේ.




ඒ පහත පරිදි වේ.



ශ‍්‍රී ලංකා මාතාවගේ කීර්තිමත් පුත‍්‍රයෙකු වූ දේශමාන්‍ය ආචාර්ය ගාමිණී කොරයා මහතාගේ අභාවය සැලවීමෙන් මම ඉමහත් සංවේගයට පත් වූයෙමි.



ඔහු ශ‍්‍රී ලාංකික අර්ථ ශාස්ත‍්‍රඥයෙකු, පරිපාලන නිලධාරියෙකු හා රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු ලෙස සෙසු ලෝකයා අතර කැපී පෙනුනේ විශේෂයෙන් සංවර්ධනය වන ජාතීන්ගේ ආර්ථික ප‍්‍රගතිය වෙනුවෙන් කළ දායකත්වය නිසාය. එක්සත් ජාතීන්ගේ වෙළෙඳාම හා සංවර්ධනය පිළිබඳ සමුළුවේ පුරෝගාමිකයෙකු

හා මහ ලේකම්වරයෙකු ලෙස සහ එක්සත් ජාතීන්ගේ සහය මහ ලේකම්වරයෙකු ලෙස ඔහු හෙබවූ තනතුරු ජගත් සංවිධානයේ ප‍්‍රගතිය වෙනුවෙන් ප‍්‍රමුඛ පෙලේ ශ‍්‍රී ලාංකිකයින් ලබාදුන් දායකත්වය කෙරෙහි ලෝක අවධානය යොමු කරවීමට සමත් විය. ආර්ථික විද්‍යා ක්ෂේත‍්‍රයේ සුප‍්‍රසිද්ධ උගතෙකු වූ

එතුමා පළමුව 1973 දී තේරී පත් වූ දා පටන් වෙළෙඳාම හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේ කීර්තිමත් මහ ලේකම් පදවියට තෙවරක්ම තේරී පත් වූයේ තුන් වන ලෝකයේ රටවල ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ඉටුකළ විශිෂ්ට සේවාව නිසා ය.



ශ‍්‍රී ලංකාවේ දී තම වෘත්තීය ජීවිතය ලංකා මහ බැංකුවෙන් ආරම්භ කළ ඔහු එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ධූරය දක්වා උසස් විය. එතුමා ක‍්‍රම සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නිත්‍ය ලේකම් ලෙස ද කලක් සේවය කළේය. මෙම තනතුරු හොබවමින් ශ‍්‍රී ලංකාවේ සංවර්ධන හා ආර්ථික පර්යේෂණ මූලෝපායයන් හැසිරවීමේ දී ඔහු විසින් කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේය. රාජ්‍ය තාන්ත‍්‍රික සේවාවේ දී ඔහු මෙරට වෙනුවෙන් යුරෝපා ආර්ථික සංගමය සඳහා පත් කළ තානාපතිවරයා විය. ඔහු විවෘත විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස උසස් අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයේ මේ දක්වා ගවේශනය නොකළ

නව අංශ කරා මෙහෙයවීය.



විදේශ විශ්වවිද්‍යාල ගණනාවකින් පිදුම් ලබමින් හා ජාත්‍යන්තර අධ්‍යයන, විද්‍යා හා ආර්ථික ආයතන ගණනාවක අධ්‍යක්‍ෂ මණ්ඩලවලට තේරී පත් වෙමින් ආචාර්ය ගාමිණී කොරයා විසින් ඔහුගේ සීයා වන ශ්‍රේෂ්ඨ නිදහස් සටන්කාමියෙකු වූ ව්‍යවස්ථාදායක මණ්ඩල සභික හිටපු වික්ටර් කොරයාගේ කාර්යභාරය

ජීවමාන කරවීමට සමත් විය.



ඔහුගේ අභාවය ආර්ථික ප‍්‍රවීණතා අංශයේ මෙන්ම දෙස්-විදෙස් පරිපාලන හා රාජ්‍ය දූත ක්ෂේත‍්‍රයන්හි ඉතා විශාල හිඩැසක් ඇති කරයි. ඔහුගේ පරිචය සමකළ නොහැකි තරමේ විශිෂ්ඨ සළකුණුවලින් සමන්විත වූවකි.



මේ ශෝකී අවස්ථාවේ දී මම ඔහුගේ ඥාතීන්ට මාගේ ශෝකය පුද කරමි.

ඔහුගේ ආත්මය සාමදානයේ සැතපේවා !



Post a Comment