උතුරෙන් හමුදා ඉවත් කරන්නේ නැ -ජනපති

දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ලෙස ත්‍රිවිධ හමුදාව උතුරෙන් ඉවත් කරන්නැයි යෝජනා කළද ත්‍රිවිධ හමුදාව උතුරෙන් ඉවත් කළවිට විසඳෙන්නේ දෙමළ ජනතාවගේ කුමන ප්‍රශ්නයදැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රශ්න කරයි. 

රටපුරා හමුදා කඳවුරු පවතින බව පෙන්වාදෙන ඒ මහතා ඔවුන් ඒ යෝජනා ඉදිරිපත් කරන විට එදා උතුරේ පැවැති තත්ත්වය මතකයට නැඟෙන බවද සියාසිටී. එම තත්වය තුල කුමන බලපෑම් එල්ලවුවද, උතුරෙන් ආරක්ෂක හමුදා ඉවත් කිරීමට රජය සූදානම් නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.  
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (29) පස්වරුවේ පැවැති කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රදානෝත්සවය අමතමිනි. එම විශ්වවිද්‍යාලයේ 23 වැනි උපාධි ප්‍රදානෝත්සවය මෙය වන අතර එහිදී සාමාන්‍ය උපාධිය සහ පශ්චාත් උපාධිය හැදෑරූ 182 දෙනකු උපාධි ලබාගත්හ. සංවර්ධනයෙන් බෙදුම්වාදය පරාජය කරන බවද ජනාධිපතිවරයා එම උත්සවයේදී කියා සිටියේය. 

යුද සමයේ විදේශගතව සහ කොළඹට වී සිටි අය අද බෙදුම්වාදය වපුරණ බවත්, ත‍්‍රස්තවාදී නායකයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැළඳ ගන්නා බවත් සඳහන් කළ ජනාධිපතිවරයා, වැටුණු වළේ දවල් වැටීමට සූදානම් නොමැති බව ද පැවසිය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් පළකළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, 1970 දශකයේ බෙදුම්වාදයට ආ වැඩු දෙමළ නායකයන්ට පසු කලෙක සිදු වු දේ මතකයේ පවතින බව සිහිපත් කළ මහින්ද රාජපක්ෂ මහතා වඩුක්කොඩෙයිහිදී එදා ඊළාම් යොජනාව ගෙන ආ අමිර්තලිංගම්ගේ සිට දෙමළ නායකයින් අවසානයේ බෙදුම්වාදයේ ගොදුරක් වී ඝාතනය වූ බවද සිංහල, දෙමළ, මුස්ලිම්, සියලු ජාතීන් මේ අතීතයෙන් පාඩම් ඉගෙන ගතයුතු බවද ප්‍රකාශ කළේය. 

වෙල්ලමුල්ලිවයික්කාල් සැමරුම් මධ්‍යස්ථානයක් බවට පත් කරගන්නට ඇතැමුන් කිහිපවතාවක්ම උත්සාහගත බව පැවසූ ඒ මහතා සාමය අගය කරන අප කා තුළත් මේ සම්බන්ධයෙන් ඇත්තේ බලවත් කනගාටුවක් බවද එම ප්‍රදේශය විවිධ ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූ ත්‍රස්තවාදියා අවසන් ගමන ගිය ස්ථානය බවද අවධාරණය කළේය. 

එදා මුහමලේ සිට පාලනය වුණේ එල්.ටී.ටී.ඊයෙන් බව පෙන්වාදුන් මහින්ද රාජපක්ෂ මහතා, ඒ වාගේම නැඟෙනහිර පළාතේ තුනෙන් දෙකක බලය තිබුණේ ඔවුනට බවද මේ ප්‍රදේශවලට යන්න මේ රටේ ජනතාවට තහනම් වූ බවද සිහිපත් කළේය. 

පාරක් හදලා විවෘත කරන්නවත් යන්න නොහැකි තත්ත්වයක් පැවැති බවද එදා නිදහස් කර ගත්ත උතුරු අර්ධද්වීපය පාලනය කළේ වටේටම බංකර් පිහිටවලා එකම හමුදා කදවුරක් විදියට බවද පෙන්වා දුන්නේය. ආරක්ෂක හමුදාවලට දෙමළ ජාතිකයන් බැදෙන හැම අවස්ථාවකදීම එල්.ටී.ටී.ඊය ඊට බාධා කළේ වර්ගවාදී චෝදනා එල්ල කරන්න අවශ්‍ය නිසා යැයි පෙන්වාදුන් ජනාධිපතිවරයා, නමුත් අද එම බොරු චොදනාවෙන් ගැලවෙන්න අවශ්‍ය පියවර ගෙන තිබෙන බවද උතුර, නැඟෙනහිර දෙමළ ජනතාව විශාල වශයෙන් සිවිල් ආරක්ෂක සේවයට, පොලීසියට මෙන්ම හමුදාවට බැඳෙන බවද බෙදුම්වාදීන් එදා අපිව රාත්‍රියේ වට්ටවපු වළට දහවල් නොවැටී සිටීමට වඟබලා ගතයුතු බවද අවධාරණය කළේය. 

අගමැති දී.මූ ජයරත්න, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනී මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති රොහාන් දළුවත්ත, උපකුලපති මේජර් ජනරාල් මිලින්ද පීරිස්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment