හර්මන්ට ඇප

හර්මන්ට ඇප


පසුගියදා මාතර පැවති විරෝධතා පාගමනේදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ලක් වූ හර්මන් ගුණරත්න මහතා ඊයේ(04) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.




මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු රුවන් සිසිර කුමාර මහතා විසින් මෙම නියෝගය පනවන ලදී.


මෙහිදී හර්මන් ගුණරත්න මහතාට ඇප ලබා දෙන ලෙසට විත්තිකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ඇතුළු නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබේ. නමුත් ගිනි අවි අඥා පනතට අනුව මහේස්ත්‍රාත් අධිකරණයකට ඇප ලබා දීමට නොහැකි බවයි අධිකරණය පෙන්වා දුන්නේ. ඉන් අනතුරුව මාතර මහාධිකරණය විසින් හර්මන් ගුණරත්න මහතාගේ ඇප ලබාදීම සම්බන්ධයෙන් විභාගයටගත් අවස්ථාවේ රුපියල් 25,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් ඉදිරිපත් කරන ලෙස මාතර මහාඅධිකරණය නියෝග කරන ලදී. නීතිපතිවරයාගේ විරෝධයක් නොමැති හෙයින් ආත්මාරක්ෂාවේ අයිතිය සලකා බලා මෙම ඇප නියම වු බව වාර්තා වේ.


මෙම ඇප සඳහා ලේ ඥාතීන් දෙදෙනෙකු ඇපකරුවන් විය යුතු බවටත්, ඔවුන්ගේ පොලිස් හා ග්‍රාමසේවා සහතික ඉදිරිපත් කළ යුතු බවටත් ඇප කොන්දේසිවල සඳහන්.


මාතර මහාධිකරණ විනිසුරු ප්‍රියන්තද සිල්වා මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. නමුත් ඒ වන විටත් සැකකරු බන්ධනාගාරයට ගෙන ගොස් ඇති නිසා ඇප ලබාදීම අද(05) දිනට කල් තැබීය. මෙම නඩුව යළි කැඳවීම අද පෙරවරු‍වේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වීමට නියමිතයි.



Post a Comment