ජනසෙවණ පෙන්නා මුදල් ගැරූ දෙදෙනෙක් අත්අඩංගුවට

ජනසෙවණ පෙන්නා මුදල් ගැරූ දෙදෙනෙක් අත්අඩංගුවට


ජනසෙවණ නිවාස ව්‍යාපෘති වලින් නිවාස ලබාදෙන බව පවසා ජනතාව රවටා මුදල් වංචා කරන කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට මිරිහාන පොලිසියේ වංචා විමර්ශන ඒකකය ඊයේ (29) රාත්‍රියේදී සමත් වී තිබේ.




මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹූ මිරිහාන පොලිසියේ විමර්ශන අංශය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර මීට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වමින් සිටී.


මොරටුව, ලුනාව ජනසෙවණ නිවාස ව්‍යාපෘතියෙන් නිවසක් ලබාදීම සදහා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 20 ක් ඉල්ලා ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත. නිවාස අමාත්‍යවරයාට තමන්ගේ දුක්ගැණවිල්ල කියා ලිපියක් ඉදිරිපත් කරන ලෙසටත් ඒ සමග රුපියල් ලක්ෂ 1 ½ ක මුදලක් අවශ්‍ය බව වංචාව සිදු කළ කණ්ඩායම මෙම පුද්ගලයාගෙන් ඉල්ලා ඇත. එම ලිපිය භාරදී දින 16 ක් ඇතුළත නිවාස අමාත්‍යවරයාගේ අත්සනින් නිවස ලබාදෙන බව පවසා ලිපියක් ලබාදෙන බවත් ඒ සදහා රුපියල් ලක්ෂ 12 ක මුදලක් අවශ්‍ය බවත් දන්වා ඇත. මාස 6 කට පසු වර්ග අඩි 650 කින් යුත් නව නිවසේ යතුර භාරදී හිමිකම් පත්‍රය භාරදීම සදහා ඉතිරි ලක්ෂ 6 ½ ක මුදල අවශ්‍ය බව එම වංචාවට සම්බන්ධ කණ්ඩායම මෙම පුද්ගලයාට පවසා ඇති බව පොලිස් විමර්ශන වලදී හෙළිවී ඇත.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.


විශේෂයෙන්ම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් ඉඳිකරනු ලබමින් පවතින මහල් නිවාස ව්‍යාපෘතිවලින් නිවාස ලබාදෙන බවට ජනතාව මුලාකර මුදල් ලබාගත් බවට පැමිණිළි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට හා ඉදිකිරීම්,ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයට ලැබී ඇති බව එම අමාත්‍යංශය පවසයි.


ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හා ඉදිකිරීම්,ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ නම පාවිච්චි කර යම් යම් පුද්ගලයින් නිවාස ලබාදෙන බවට කරගෙන යන ප්‍රචාරයන් අසත්‍ය ඒවා බවත් කිසිවෙකු හෝ එවන් අසත්‍ය ප්‍රචාර සිදුකරන්නේ නම් ඒ පිළිබදව ඉතා ඉක්මණින් ළගම ඇති පොලිසියට හෝ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කාර්යාලය වෙත 0112446566 / 0112446558 යන දුරකථන අංක ඔස්සේ දැනුම් දෙන මෙන් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.



Post a Comment