කේ.පීට රටින් පිටවීම තහනම්

කුමරන් පද්මනාදන් හෙවත් කේ.පීගේ විදේශ ගමන් බලපත්‍රය අභියාචනාධිකරණය විසින් අත්හිටුවා තිබේ.

කේ.පී අත්අඩංගුවට ගන්නැයි ජ.වි.පෙ විසින් පසුගියදා ඉදිරිපත් කළ පෙත්සම පසුගිය 27 දින සලකා බැලූ ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඔහුව අත්අඩංගුවට ගැනීම හෝ පරීක්ෂණ පැවැත්වීමට ඇති හැකියාව ගැන අද දින අධිකරණයට කරුණු දක්වන්නැයි නීතිපතිවරයාට නියෝග කර තිබුණි.


ඒ අනුව අද දින අභියාචනාධිකරණය විසින් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අත්හිටුවන ලෙස නියෝග කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.


එල්.ටී.ටී.ඊයේ හිටපු ජාත්‍යන්තර අවි සැපයුම්කරු ලෙස ප්‍රසිද්ධියට පත් කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ පසුගිය 19 වැනිදා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරන ලදී.


මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, යුධ හමුදාපතිවරයා සහ ආගමන විගමන පාලකවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණි.


අදාළ පෙත්සම මගින් විජිත හේරත් මන්ත්‍රීවරයා සඳහන් කර තිබුණේ කුමරන් පද්මනාදන් නැමැත්තා මලයාසියාවේ දී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවද මේ දක්වා ඔහුව අධිකරණයක් වෙත ඉදිරිපත් කර නොමැති බවයි.



Post a Comment