නිදහස අදයි

67 වන නිදහස් දිනය අදට යෙදී තිබේ.

ඒ නිමිත්තෙන් සංවිධානය කෙරෙන ජාතික නිදහස් සැමරුම් උළෙල අද පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනකපුර කෝට්ටේ පාර්ලිමේන්තුව ආශ්‍රිත පරිශ්‍රයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.


නිදහස් දින උළෙල ත්‍රිවිද හමුදා සහ පොලීසියේ පෙළපාලිවලින් සහ සංස්කෘතික සංදර්ශන රැසකින් සමන්විත වන බව සඳහන්ය.


එම උළෙල වෙනුවෙන් යුද හමුදා සාමාජිකයින් 2000 ට අධික පිරිසකගේ දායකත්වය ලබාදෙන බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩයර් ජයනාත් ජයවීර මහතා පවසයි.


නිදහස් දින උළෙලේ පෙළපාලිය සඳහා යුද හමුදා නිලධාරීන් 101 දෙනෙකු සහභාගි වන බව ඔහු කියා සිටියි.


සෙසු නිලයන් 2250 දෙනෙකු අද පැවැත්වෙන නිදහස් දින පෙළපාලියට සහභාගි වන බව ද හෙතෙම පෙන්වාදෙයි.


එමෙන්ම නාවික හමුදාව ද සාමාජිකයින් 600 කට අධික පිරිසක් නිදහස් දින උළෙල සඳහා සහභාගි කරවන බව නාවික හමුද මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසුරිය මහතා පවසයි.


නාවික හමුදා නිලධාරීන් 25 දෙනෙකු සහ සෙසු නිලයින් 695 දෙනෙකු ඊට සහභාගි වන බව හෙතෙම පවසයි.


අද පැවැත්වෙන නිදහස් දින උළෙලට ගුවන් හමුදා නිලධාරීන් 33 දෙනෙකු සහ සෙසු නිලයන් 383 දෙනෙකු සහභාගි කරවන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.


එසේම සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 11 දෙනෙකු සහ සෙසු නිලයින් 495 දෙනෙකු ද නිදහස් දින උළෙලට සහභාගි වනු ඇති බව කියැවෙයි.


මීට අමතරව ශිෂ්‍ය භට බලකායේ 450 දෙනෙකු සහ යොවුන් සේනාංකයේ 450 දෙනෙකු ද ඊට සහභාගි වන බව සඳහන්ය.


ශ්‍රී ලංකා පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය ද නිදහස් දින උළෙලට සහභාගි වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා සිටියි.



Post a Comment