කහවත්තේ වෙඩි තැබීම - චොකා මල්ලි රිමාන්ඩ්

කහවත්තේ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙකු වන හිටපු නි‍යෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලි ලබන 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.

එසේම සැකකරු ලබන 20දා පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කර ඇත.


සැකකාර හිටපු නියෝජ්‍ය ඇමතිවරයා අද කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් උසාවියට ඉදිරිපත් කළ අතර ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය 5වැනිදා පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.


ජනපතිවරණයට තරඟ කළ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රැස්වීමක් සඳහා කහවත්තේ පසුගිය 3 වැනිදා මැතිවරණ වේදිකාවක් සකසමින් සිටියදී සිදුවූ වෙඩි තැබීමකින් කිහිප දෙනෙකු තුවාල ලැබූ අතර තුවාල ලැබූ එක් අයෙකු රත්නපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේය.


වෙඩි තැබීමේ සිද්ධියට හිටපු නියෝජ්‍ය ඇමතිවරයා ඇතුළුව ප්‍රාදේශීය දේශපාලනඥයින් කිහිප දෙනෙකුට ද චෝදනා එල්ල විය.



Post a Comment