අළුයම සිද්ධිය ගැන පරීක්ෂණයක් පවත්වන්න - නීතිපතිගෙන් රහස් පොලීසියට උ‍පදෙස්

ජනාධිපතිවරණ දින අළුයම සිදුවූවා යැයි කියන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව නීතිපති යුවන්ජන වනසුන්දර විජයතිලක මහතා පවසයි.

තමන් අද දහවල් එම දැනුම්දීම කළ බව නීතිපතිවරයා කියයි.


සාමාන්‍ය පරිදි පරීක්ෂණයක් පවත්වන ලෙසට තමන් එම දැනුම්දීම කළ බව අප කළ විමසීමකදී ඒ මහතා අනාවරණය කළේය.


ජනාධිපතිවරණ දින ප්‍රතිඵල නිකුත් වෙමින් තිබියදී ප්‍රතිඵල අත්හිටුවා හදිසි නීතිය පනවා රාජ්‍ය වි‍රෝධී ලෙස බලයේ රැඳී සිටීමට හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් උත්සාහ කළ බවට මංගල සමරවීර මහතා පසුගියදා චෝදනාවක් කරන ලදී.


ඒ අනූව ඔහු පෙරේදා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද මේ ගැන නීතිපති උපදෙස් පතා ඇති අතර ඒ අනූව නීතිපතිවරයා උපදෙස් දී ඇත්තේ සාමාන්‍ය පරිදි පරීක්ෂණයක් පවත්වන ලෙසටය.



Post a Comment