පොදු අපේක්ෂකගේ පළමු රැළියට බාධා - සෙත් පිරිත් මණ්ඩපය ගලවලා

හිටපු අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු ජන රැළියට පෙර සෙත් පතා පිරිත් සජ්ජායනා කිරීමට පැමිණෙන සංඝරත්නයට සෙවණ සැලසීමට ඉදිකරමින් තිබූ මණ්ඩපය එහි හිමිකරුවන් විසින් ගලවා ඉවත් කොට ගෙන ගොස් ඇති බව කැෆේ සංවිධානය කියයි.

එම සංවිධානය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක් වැඩිදුරටත් පහත පරිදිය.


හිටපු අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු ජන රැළියට පෙර සෙත් පතා පිරිත් සජ්ජායනා කිරීමට පැමිණෙන සංඝරත්නයට සෙවණ සැලසීමට ඉදිකරමින් තිබූ මණ්ඩපය එහි හිමිකරුවන් විසින් ගලවා ඉවත් කොටගෙන ගොස් ඇත.


නාදුනන පිරිසක් විසින් එම මණ්ඩපයේ හිමිකරුවන්ට තර්ජනය කිරීම නිසා බිය වී මෙලෙස පිරිත් මණ්ඩපය ලබා දිය නොහැකි බව පවසා ඇත.


පොළොන්නරුව ඓතිහාසික වටදාගෙයට ආසන්නයේ මෙම උත්සවය සංවිධානය කොට තිබුණි.


මැතිවරණ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර මෛත්‍රිපාල සිරිසේන මහතා සිරිතක් ලෙසම සෙත් පැතීමේ අවස්ථාවකට සහභාගි වේ.


කෙසේ නමුත් වැසි ආවරණයකින් තොරව උත්සවය පැවැත්වීමට සංවිධායකවරුන් කටයුතු යොදා ඇත.


අනුරාධපුර තඹුත්තේගම එජාප පිරිසකට ප්‍රහාරයක්


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස පිළිගැනීම සඳහා සැරසිලි සිදු කරමින් සිටි එජාප පළාත් සභා මන්ත්‍රී නාමල් දියාලගොඩ මහතා සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසකට නොවැ. 29 දින ප්‍රහාරයක් එල්ල කොට ඇත.


ප්‍රහාරයෙන් තුවාල ලැබූ තඹුත්තේගම පදිංචි එජාප ආධාරකරුවෙකු රෝහල් ගත කොට ඇත.


මෙම ප්‍රහාරය සිදු කළ කණ්ඩායම විසින් තඹුත්තේගම එජාප කාර්යාලයේ කටවුට් සහ බැනර් විනාශ කර ඇත.


තමන්ට උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ඇතුඵ කණ්ඩායමක් විසින් පහර දුන් බවට එජාප පළාත් සභා මන්ත්‍රීවරයා තඹුත්තේගම පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.


අරලිය සහල් ප්‍රවාහන ලොරි දෙකකට ප්‍රහාර


මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ඩඩ්ලි සිරිසේනට අයත් පොළොන්නරුව අරලිය සහල් සමාගමේ සහල් පැටවූ ලොරි රථ දෙකකට දිවුලපිටිය මරඳගහමුල දී හා මහනුවර ගම්පොල දී මැර පිරිස් පහර දී ඇත.


පසුගිය 27 දින යතුරුපැදිවලින් පැමිණි හත් (7) දෙනෙකුගේ කණ්ඩායමක් මරදගහමුල ප්‍රහාරය සිදු කොට ඇත. දිවුලපිටිය පොලීසිය වෙත සිදු කල පැමිණිල්ලේ සඳහන් වන්නේ ප්‍රහාරයෙන් ලොරි රථයකට හානි සිදුව ඇති අතර රියදුරාට තුවාල සිදුව ඇති බවයි.


ගම්පොල කහටපිටියේ දී සිදු කළ ප්‍රහාරයේ දී රුපියල් 20,000 කට ආසන්න මුදලක් ද ජංගම දුරකථනයක් ද පැහැර ගැනීමට ලක්වී ඇත. පොලීසිය පවසන්නේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම ප්‍රහාරය සිදු කොට ඇති බවයි.


අරලිය සහල් සමාගමේ හිමිකරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකි.


එජාප පාලනයක් යටතේ පවතින කොළඹ මහ නරග සභා සීමාව තුල මේ වන බදු මුදල් ගෙවීමකින් තොරව නීති විරෝධී කටවුට් හා බැනර් 2000 කට වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනය කරමින් තිබේ. එජනිස යටතේ පාලනය වන කඩුවෙල, කෝට්ටේ මහ නගර සභා සීමාවන් තුළ පිළිවෙළින් කටවුට් 1500 සහ 1200 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට ප්‍රදර්ශනය කෙරේ.


දිවයිනේ සෑම පළාත් පාලන ආයතනයකට පාහේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් කොඩි කණු 20 ක් හෝ එයට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇත. ඒවායේ නිල් පැහැති කොඩි සහ බැනර් ප්‍රදර්ශනයට පළාත් පාලන ආයතන සේවකයින් යොදවා ඇති බවට පැමිණිලි විශාල සංඛ්‍යාවක් කැෆේ සංවිධානය වෙත ලැබී ඇත.


පළාත් පාලන ආයතන සතු දේපළ මැතිවරණ කටයුතු සදහා යොදා ගැනීම මැතිවරණ කොමසාරිස්වරයා ගේ අංක පී.ආර්.ඊ/2015/4බී දරන 2014.11.24 දිනැති නියෝගයට අනුව නීති විරෝධී වේ.


මාර්ගය අවහිර කරන දංකොටුවේ එජනිස රුස්වීම


ප්‍රධාන මාර්ගය අවහිර කරමින් රජයේ අමාත්‍යවරුන් ගණනාවකගේ සභාගීත්වයෙන් දංකොටුව නගරයේ දී ඊයේ එජනිස ප්‍රචාරක රැළියක් පවත්වනු ලැබීය.


ඡායාරූපයෙන් දැක්වෙන්නේ මෙම රැළිය සඳහා මහා මාර්ගයේ එක් මං තීරුවක් සම්පූර්ණයෙන්ම වසා දමා වේදිකාව ඉදිකොට ඇති ආකාරයයි.


රැස්වීම් පැවැත්වීම සඳහා අවසර ලබාදීමේ දී ආණ්ඩු පක්ෂයට පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරන බවට පළාත් පාලන ආයතන සහ පොලීසියට සෑම මැතිවරණයකදීම චෝදනා එල්ල වේ.


ඡායා රූප - කැෆේ



Post a Comment