රජයේ මැති ඇමතිවරුන් විශාල පිරිසක් අකර්මන්‍ය වෙලා

ජනාධිපතිවරණයෙන් පොදු අපේක‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවිය යුතු බවට මහජන මතයක් ගොඩනැගී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා පවසයි.

රාජපක‍්ෂ රජයේ මැති ඇමතිවරුන් විශාල පිරිසක් අකර්මන්‍යවී ඇතැයි හෙතෙම කියයි.


ඔවුන් ජනාධිපතිවරණය වෙනුවෙන් ක්‍රියාත්මක නොවන බව ද ගුණතිලක මහතාපෙන්වා දෙයි.


එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්කරවීම සඳහා ජනමතයක් නිර්මාණය වී ඇත.


රාජපක‍්ෂ රජයේ ක්‍රියාකාරීහූද දිනෙන් දින මෛත්‍රීපාල සිරිසේන මහතාට එක්වෙන බව ඔහු කියයි.


ඉදිරි දින 10 ඇතුළත අති විශාල පරිවර්තනයක් සිදුවනු ඇතැයි ද නන්දන ගුණතිලක මහතා සඳහන් කරයි.


ජාතික හා ප්‍රාදේශික දේශපාලනඥයෝ රැසක් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට ඉදිරි දින වලදී එක්වන බව ඔහු කියයි.


රජයේ දූෂිත ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාදාමයට අති විශාල පිරිසක් එරෙහිවී ඇතැයි ද නන්දන ගුණතිලක මහතා පෙන්වා දෙයි.


එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සහ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු 8 දෙනෙක් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීම සඳහා අද එක්වූහ.


ඔවුන් තම තීරණය දැනුම් දීම සඳහා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ගුණතිලක මහතා කියා සිටියේ ඉදිරියේදී තවත් පිරිසක් පොදු අපේක‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට එක්වන බවයි.


ජන පෙළගැස්මක් ද ප්‍රබල ලෙස පවතින බවත්, එය මහජන රැළිවලින් මනාව සනාථ වන බවත්, හෙතෙම කියයි.


ඔවුන් බස් රථ යොදා හෝ වෙනත් ප්‍රතිලාභ ලබාදීමකින් තොරව ස්වේච්ඡාවෙන් එක්වූ පිරිස් බව නන්දන ගුණතිලක මහතා අවධාරණය කරයි.


එහෙත් වත්මන් ජනාධිපතිවරයා තම ප්‍රචාරක රැළි වලට බස්රථ වලින් දුර බැහැර සිට ප්‍රේක‍්ෂකයන් ගෙන්වා ගන්නා බව ඔහු කියයි.


ඉන් සනාථ වන්නේ වත්මන් ජනාධිපතිවරයාගේ ඡන්ද පදනම ද බිඳ වැටී ඇති බව යැයිද මෙවර ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීම සඳහා ජනපෙළගැස්මක් සහ ජනමතයක් පවතින බව තහවුරු වී ඇතැයිද ගුණතිලක මහතා අවධාරණය කරයි.



Post a Comment