කපුටාගේ කූඩුවේ බිත්තර දැමූ කොහාට වුණු දේ සිරිසේනට වෙනවා

කපුටාගේ කූඩුවේ බිත්තර දැමූ කොහාට සිදුවූ දේම අද රනිල් සමඟ ගිවිසුම් ගැසූ සිරිසේන මහතාට සිදුවන බව ඉදිකිරීම්,ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය - ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකානු ඩොලර්, ස්විස් ෆ්රෑන්ක් මිටි ගණනින් තම ඥාති නිවෙස් වල සඟවා තබමින්, විවිධ කල්ලි සමඟ හොර ගිවිසුම් ගසමින් සිරිසේන මහතා සිදු කරනු ලබන්නේ යහ පාලනය ඇති කිරීමද? නැතිනම් බෙදුම්වාදීන්ට දොළ පිදේනි ලබා දීමදැයි යන්න වීරවංශ අමාත්‍යවරයා මෙහිදී ප්‍රශ්න කළේය.


ඊයේ කියපු දේ අද නැහැ කියන හුටංලා හිටං කියන කතා වලට රැවටී රටටත් ජාතියටත් යුතුකම් ඉටු කළ මහින්ද රාජපක්ෂ ජනාධීපතිතුමාගේ ධුර කාලය වාර දෙකකට පමණක් සීමා කිරීමට මේ රටේ කෘතවේදී ජනතාව සූදානම් නැති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.


හෙතෙම මේ බව කියා සිටියේ මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජය තහවුරු කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් සංවිධානය කරනු ලබන ජන රැළි මාලාවේ අද (23)දින රුවන්වැල්ල මහජනක්‍රීඩාංගණයේ දී පැවති ජන රැළිය අමතමිනි.


ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැළියට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයෝ ,අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු ,මන්ත්‍රීවරුඇතුළු පිරිසක් සහභාගි වූහ.



Post a Comment