මුතුහෙට්ටිට ඇප - පොලීසියට ඇතුළුවීම තහනම්

නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අද රුපියල් ලක්ෂ 5 බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කර තිබේ.

එසේම සැකකරුට බද්දේගම අධිකරණ බලප්‍රදේශයේ කිසිදු පොලිස් ස්ථානයකට ඇතුළුවීමද වළක්වමින් එම නියෝගය නිකුත් කෙරිණ.


මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වඳුරඹ වේදිකාවට ගිනි තැබීමේ සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු පොලිසියට පැමිණ බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගන්නැයි මහේස්ත්‍රාත්වරයා පසුගියදා වරෙන්තුවක් නිකුත් කරන ලදී.


පොලිස්පතිවරයා‍ මාර්ගයෙන් එසේ වරෙන්තුව නිකුත් කර තිබියදී නියෝජ්‍ය ඇමතිවරයා සිංගප්පූරුව බලාගොස් තිබිණ.


ඔහු ඊයේ දිවයිනට පැමිණි විට කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් අතර මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට පැමිණවීමෙන් පසු හෙට දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කරන ලදී.


කෙසේ වුවද සැකකාර නියෝජ්‍ය ඇමතිවරයාව අද බද්දේගම මහේස්ත්‍රාත්වරයා හමුවට පැමිණවීමෙන් පසු මෙම නියෝගය නිකුත් කළ අතර ඒ අනූව සැකකරු ලබන ජනවාරී 26දා යළි උසාවියට ඉදිරිපත් කරන ලෙසද නියෝග කෙරිණ.



Post a Comment