වැස්සෙන් පවුල් 185,079ට පීඩා - මුහුදු ගමන් අවදානම් - තවදුරටත් වැසි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උතුර, මධ්‍යම, වයඹ, නැගෙනහිර, උතුරුමැද, ඌව සබරගමුව සහ බස්නාහිර පළාත් වලට අයත් දිස්ත්‍රික් 17ක පවුල් 185,079ක් පීඩාවට පත්ව තිබේ.

ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පුද්ගල මරණ 04ක් සහ තුවාල ලැබූ සිද්ධීන් 05ක්ද, අතුරුදන්වීම් 02 ක්ද වාර්තා වන බවයි.


නිවාස 3569ක් පුර්ණ හානියට ලක්ව ඇති අතර නිවාස 1166කට ඊයේ පස්වරුව වනවිට අර්ධ වශයෙන් හානි සිදුව තිබුණි.


පවුල් 17,430 කට අයත් පුද්ගලයින් 60,342 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 313ක රැදී සිටින බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසයි.


මේ අතර දිස්ත්‍රික්ක 11ක ජනතාවට නායයෑමේ ගල්පෙරලීමේ සහ කණ්ඩි කඩා වැටීමේ අවදානම පිළිබඳ විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලීමක් කරයි.


ඒ අනුව මාතලේ මහනුවර, බදුල්ල, කෑගල්ල, රත්නපුර සහ නුවරඑලිය දිස්ත්‍රික්ක වල සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව වෙත එම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.


එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව සහ තවලම, මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ සහ මුලටියන, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල සහ කටුවන, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය, රිදීගම සහ මාවතගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නායයෑමේ අවදානම් පැවතිය හැකිය.


මේ අතර නුවරඑලිය - මහනුවර, මහියංගනය - මහනුවර, රන්දෙණිගල හරහා මහනුවර - බදුල්ල, පදියපැලැල්ල හරහා නුවරඑළිය යන මාර්ග වල ඉවුරු කඩාවැටීම් හේතුවෙන් අවදානම් තත්ත්වයක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කරයි.


ජලාශ වල වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් පහත් බිම් රැසක් තවදුරටත් ජලයෙන් යටවී ඇති අතර ජලාශ පහළ ආශ්‍රිත ජනතාව ජල ගැලීම් තත්ත්වයන් පිළිබඳ සැලකිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි.


අඩු පීඩන කාගුණික තත්ත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බැවින් අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


එම ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 60ත් 80ත් අතර වේගයකින් සුලං හැමිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව කියයි.


විශේෂයෙන් මධ්‍යම කදුකරයට මිලිමීටර් 150 කට අධික වර්ෂාපතනයක් ඇති විය හැකිය.


දිවයින වටා මුදු ප්‍රදේශවලට ද වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


මේ නිසා මුහුද රළු විය හැකි අතරම මුහුදු ගමන් අවදානම් බවද එම දෙපාර්තමේන්තුව කියයි.



Post a Comment