ප්‍රභා ගනේෂන්ට කුණු බැණුම්!

මෑතකදී විදුලි සංදේශ නියෝජ්‍ය ඇමති පදවියෙන් පිදුම් ලද ප්‍රභා ‍ගනේෂන් මහතාට ඊයේ අසභ්‍ය වචනයෙන් බැණුම් ඇසීමට සිදුවූ පුවතක් අප වෙත වාර්තා විය.

වාර්තා වන අන්දමට එම සිද්ධිය මෙසේය.


කොළඹ ඉදිකෙරෙන තට්ටු නිවාසවලින් නිවාස ලබාදෙන බැවින් නිවාස අවශ්‍ය අය ඒ සඳහා ඉල්ලුම් පත්‍ර පුරවා බාරදීමට තමාගේ ප්‍රධානත්වයෙන් මට්ටකුලියේදී 2014.11. 10 සවස පැවැත්වෙන රැස්වීමක් සඳහා පැමිණෙන ලෙස දන්වා ජනතාව අතරේ ප්‍රචාරයක් යවා ඇත.


නියෝජ්‍ය ඇමතිවරයා එම ප්‍රචාරයෙන් බලාපොරොත්තු වී ඇත්තේ ඔහුගේ පාක්ෂිකයින් දෙසියයක් තුන්සියයක් පමණ පිරිසක් පැමිණෙනු ඇති බවය.


කෙසේ වුවද නියෝජ්‍ය ඇමතිවරයා ද පුදුමයට පත්කරමින් රැස්වීම සංවිධානය කර තිබූ මට්ටක්කුලියේ පාසලට ජනතාව විශාල පිරිසක් ඒකරාශී වී ඇති අතර මේ නිසා ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද ඇති වූ බව වාර්තා විය.


එසේම පැමිණ සිටි පිරිස දුටු නියෝජ්‍ය ඇමතිවරයාට ද එම ප්‍රචාරයේ බරපතළ කම දැනී ඇත්තේ එවිටය.


ඒ අනූව නිවාස ලබාදීමේ වැඩපි‍ළිවෙළ ගැන කෙටි අදහස් දැක්වීමකින් පසු ඔහු එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.


මේ සමග කෝපයට පත්වූ ජනතාව නියෝජ්‍ය ඇමතිවරයාට අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් නිවාස වලට ගොස් ඇත්තේ සියලු වැඩකටයුතු අතහැර දමා පැමිණියේ මෙවැන්නක් අසා ගැනීමටදැයි එකිනෙකා අතර ප්‍රශ්න නගා ගනිමිනි.


ඊයේ ඇති වූ සිද්ධිය පාදක කරගනිමින් මේවන විට මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කරන නියෝජ්‍ය ඇමති ප්‍රභා ගනේෂන් මහතාගේ මාධ්‍ය ඒකකය කොළඹ ඉදිකෙරෙන තට්ටු නිවාසවලින් නිවාස 2000ක් පමණ ලබාදීමට කටයුතු කරන බව කියා සිටියි.


කෙසේ වුවද එම නිවාස ලබාදෙන්නේ කොළඹින් අවුරුදු 3කට වඩා කුලී නිවාසවල ජීවත් වන කොළඹ ප්‍රදේශයේ ඡන්දය හිමි ඡන්දදායකයින්ට බැවින් එකී ඉල්ලුම් පත්‍ර සෙනසුරාදා හා ඉරිදා දිනවල බම්බලපිටියේ හේක් වීදියේ සිය කාර්යාලයට පැමිණ ලබාගන්නා ලෙසය එම නිවේදනය මගින් සඳහන් කර තිබේ.


ඉන් අනතුරුව සුදුසුම පුද්ගලයින් තෝරා ආරක්ෂක ලේකම්වරයා සමග මෑතකදී ඇතිකර ගත් එකඟතාවය මත නිවාස ලබාදීමට කටයුතු කරන බව නියෝජ්‍ය ඇමතිවරයා පවසන බව එකී නිවේදනයේ සඳහන්ය.



Post a Comment