ඇමති රාජිත කරපු දේ වැරදියි

වත්මන් ආණ්ඩුව තුළ මීට පෙරාතුව ධීවර අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සිටියද ඔවුන් ධීවර ප්‍රජාව සමග සහයෝගයෙන් යුතුව කටයුතු කළ බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා පවසයි.

පසුගිය දිනෙක් ධීවර අමාත්‍යංශය ඉදිරිපිටට පැමිණි ධීවරයින්ට ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සැලකූ අන්දම පිළිගත නොහැකි බව ප්‍රනාන්දු මහතා කියා සිටියේ අද(11) පාර්ලිමේන්තුවේදීය.


ධීවර ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් ලබා නොදී ඔවුන් ජේ.වී.පී කරුවන් ලෙස හංවඩු ගසා වෛරීය ලෙස සැලකීම අමාත්‍යවරයෙකුට තරම් සුදුසු නොවන බව හෙතෙම පෙන්වාදුන්නේය.


එදින පැමිණියේ ජේ.වී.පී කාරයින් නොව අමාත්‍යවරයාට ඡන්දය ලබාදුන් සැබෑ කතෝලික ප්‍රජාව බවත්, ඔවුන් නොසලකා හැරීම නොකළ යුතු බවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා අවධාරණය කළේය.


පසුව සභා ගැබට පැමිණි ධීවර අමාත්‍යවරයා තමා නියෝජනය කරන ආණ්ඩුවේම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු විසින් නඟන චෝදනාවන්ට පැහැදිලි ප්‍රතිචාරයක් නොදක්වා තමාගේ ගුණ නුගුණ කියූ සියලුදෙනාටම ස්තූතිවන්ත වන බව පවසා ප්‍රශ්නවලින් ලිස්සා ගියේය.


මේ අතර තමා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අවස්ථාවන් ගණනාවකදී අමාත්‍ය ධූර ගණනාවක් හෙබවූ බවත්, මීට පෙරාතුව ධීවර අමාත්‍යංශයේ කටයුතු කළ බවත් ඊයේ දිනයේ ෆීලික්ස් පෙරේරා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සිහිපත් කළේය.


එසේ වුවද තමා කිසි විටෙකත් රු.25,000 ට අනුන්ගේ බෙලි කැපුවේ නැති බව පෙරේරා අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.



Post a Comment