මාලකට අදත් ඇප නෑ - ඇප සලකා බැලීම 17ට කල්යයි

බම්බලපිටියේ රාත්‍රී සමාජ ශාලාවකදී බ්‍රිතාන්‍ය ජාතික යුවළකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට ඇප ලබාදීම ලබන 17 වැනිදාට කල්ගොස් තිබේ.

සැකකාර මාලක සිල්වා ද පසුගියදා සිදුවූ එකී ගැටුමේදී තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අද කියා සිටියේ මාලක හඳුනා ගැනීමේ පෙරට්ටුවක් අවශ්‍ය නැති බැවින් ඔහුට ඇප ලබාදෙන ලෙසයි.


එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතිරේක මහේස්‍ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා පවසා ඇත්තේ මාලක හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බැවින් අද ඇප ලබාදිය නොහැකි බවයි.


ඒ අනූව එම ඉල්ලීම ලබන 17 වැනිදා යළි සලකා බැලීමට හැකි බව අතිරේක මහේස්ත්‍රාත්වරයා පැවසූ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු කියා සිටියේය.


සිය පුතුට ඇප ලැබෙතැයි විශ්වාසයෙන් පසුගිය නඩුවාරයට ඇමති මර්වින් සිල්වා ද පැමිණ සිටි අයුරු දැක ගත හැකිවිය.



Post a Comment