ශ්‍රී ලංකාව ගැන හුසේන් හිතන විදියටයි මමත් හිතන්නේ

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන් සිදුකරන විමර්ශනය සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන් මහතා යළිත් වරක් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිඩ් රාඩ් අල් හුසේන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දරන මතයට තමා ද එකඟවන බව ඔහු පවසා ඇත.


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සෙයිඩ් රාඩ් අල් හුසේන් පසුගිය දිනවල සිදුකරන ලද ප්‍රකාශ සැලකිල්ලට ගනිමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මෙය ප්‍රකාශ කළ බව ඊයේ පැවති දෛනික මාධ්‍ය හමුවේ දී මහලේකම්වරයාගේ නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් ප්‍රකාශ කර තිබේ.


අදාළ විමර්ශනය අඩාල කිරීම සඳහා ශ්‍රී ලංකා රජය කටයුතු කරමින් සිටින බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා පසුගිය දා ප්‍රකාශ කර තිබුණි.


කෙසේ වෙතත් අදාළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත ආරියසිංහ මහතා සඳහන් කළේ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා ස්වෛරි රාජ්‍යයක රජයේ විශ්වාසනීයත්වය පිළිබඳ ප්‍රශ්න කිරිම කනගාටුවට කරුණක් බවයි.


ශ්‍රී ලංකා රජය එක්සත් ජාතින්ගේ නිර්දේශවලට නිරන්තරයෙන් දායකත්වය දක්වා ඇති බව ද ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත ආරියසිංහ මහතා කියයි.


ශ්‍රී ලංකා රජය, අදාළ විමර්ශනය සඳහා සාක්ෂි ලබාදීමට සාක්ෂි කරුවන්ට බලපෑම් සිදු කර නොමැති බව ඔහු අවධාරණය කළේය.



Post a Comment