බස්නාහිර ගණිතය කලින් පිටවෙලා

බස්නාහිර පළාත් තෙවන වාර විභාගයේ ගණිත ප‍්‍රශ්න පත‍්‍රය කලින් පිටවේ

බස්නාහිර පළාතේ තෙවන වාර විභාගයේ 11 ශ්‍රේණිය ගණිත ප‍්‍රශ්න පත‍්‍රය කලින් පිටවී ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.


එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනය පහත පරිදිය.


2014 තෙවන පාසල් වාර විභාගය බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් කලාප 11 ට අයත් පාසල්වල 2014.11.11 දින සිට පැවැත්වෙමින් තිබේ. අද දින 11 ශ්‍රේණියට ගණිත ප‍්‍රශ්න පත‍්‍රය පැවති අතර එය මීගමුව ප‍්‍රදේශයේ පාසලක සිසුන්ට ප‍්‍රශ්න පත‍්‍රය නිකුත් කිරීමට පෙර ලැබී ඇත. මේ අනුව පෙනී යන්නේ ගණිත ප‍්‍රශ්න පත‍්‍රය මේ වන විටත් කලින් පිට වී ඇති බවයි.


දෙවන පාසල් වාර විභාගයේ ප‍්‍රශ්න පත‍්‍ර පිළියන්දල කලාපයේ කලින් පිට වී තිබූ අතර මේ සම්බන්ධයෙන් වහා පරීක්ෂා කර සියලූ පියවර ගන්නා බව පළාත් ප‍්‍රධාන ඇමතිවරයා ප‍්‍රකාශ කර තිබුණි. නමුත් සිදු වූ දෙයක් නැත. මේ වන විට තෙවන පාසල් වාර විභාගයේ දී ප‍්‍රශ්න පත‍්‍ර පිට වී ඇති වාතාවරණය තුළ පැහැදිලි වන්නේ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට විධිමත්ව නිවැරදිව විභාගයක් පැවැත්වීමටවත් හැකියාවක් නොමැති බවයි.


දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සංවිධානය කිරීම වෙනුවට ප‍්‍රධාන ඇමති ප‍්‍රසන්න රණතුංග සිදු කරමින් සිටින්නේ ගුරුවරු සහ දරුවන්ගේ දෙමාපියන් රැස්කරවා පාසල් පද්ධතිය දේශපාලනීකරණය කිරීමයි. එහි එක් පියවරක් ලෙස බස්නාහිර පළාත් ප‍්‍රතිපාදන ලෙස පාසල්වලට තීන්ත ආලේප කිරීමට සහ නඩත්තු කටයුතු වෙනුවෙන් ලබාදෙන මුදල් ලබාදීමට පසුගිය සතිය පුරා පාසල්වලට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පළාත් සභා මන්තී‍්‍රවරු සහ දෙමාපියන් කැඳවා දේශපාලන රැස්වීම් පැවැත්වීය. එසේම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ලිපි ශීර්ෂය යටතේ ගුරුවරු කැඳවමින් රාජකාරි නිවාඩු ද ලබා දෙමින් දේශපාලන රැස්වීම් ද පවත්වමින් සිටී. මෙම කි‍්‍රයාවලිය මෙසේ සිදු වෙද්දී අධ්‍යාපනයට අදාළ කටයුතු බරපතළ ලෙස කඩාවැටෙමින් තිබේ.


ශිෂ්‍යයින්ගේ අධ්‍යාපන මට්ටම නිවැරදි ව තක්සේරු කිරීම වාර විභාග මඟින් සිදුවන තත්වයක් තුළ දිගින් දිගට අවිධිමත්ව වාර විභාග පැවැත්වීම මඟින් පෙන්නුම් වන්නේ බස්නාහිර පළාත් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පිරිහී ඇති ආකාරයයි. ගුරු-විදුහල්පතිවරු සහ සිසුන් පීඩනයට පත් කරමින් විභාග ප‍්‍රතිඵල ඉහළ නැංවීමේ ව්‍යාජ පළ රහිත උත්සාහයන්හි නිරත වන බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන්ට සිසුන්ගේ අධ්‍යාපන මට්ටම තක්සේරු කර ගැනීමේ වාර විභාගයක්වත් විධිමත්ව පවත්වා ගත නොහැකි වීම කනගාටුදායක තත්ත්වයකි. මෙම තත්ත්වය වහා වෙනස් කිරීමට කටයුතු යොදන ලෙස සියලූ බලධාරීන්ගෙන් ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී.


ජෝසප් ස්ටාලින්

ප‍්‍රධාන ලේකම්



Post a Comment