එයාම අහනවා මගේ එක වලංගු ද කියලා - මහ මෝඩ වැඩක් නේ!

තුන්වැනි වරටත් ජනපතිවරණයට තරඟ කළ හැකිදැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උපදේශක තීන්දුවක් ඉල්ලා සිටීම “මහ මෝඩ වැඩක්” යැයි විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදෙයි.

ඔහු කියා සිටින්නේ තමන් මහින්ද රාජපක්ෂ නම් තමන් එවැනි ප්‍රශ්නයක් නොඅසන බවයි.


78 ව්‍යවස්ථාවට එකතු කරන ලද 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව තෙවන වර ඡන්දයකට ඉදිරිපත් වීමට බාධාවක් ඇත්දැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසා තිබේ.


ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය එළඹෙන 10 වන දාට පෙර තමාට දන්වන ලෙසද ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති බව ඊයේ (05) මාධ්‍ය මගින් වාර්තා කළේය.


එකී ප්‍රකාශය මත පදනම්ව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා අද (06) නුගේගොඩදී පැවැති හමුවකදී මේ පිළිබඳව වැඩිදුරටත් මෙසේද අදහස් පළ කළේය.


විපක්ෂනායකවරයා ඒ පිළිබඳව කළ ප්‍රකාශය පහත පරිදිය.


“ව්‍යවස්ථාවේ 129 වගන්තිය යටතේ ඉන්න ජනාධිපතිට ආපහු තරඟ කරන්න පුළුවන් ද කියන ප්‍රශ්නය මතු කරලා තියෙනවා. මම නම් මහින්ද රාජපක්ෂ මම අහන්න යන්නෑ මට තරඟ කරන්න පුළුවන් ද කියලා. මම සරත් සිල්වා, වෙනත් කෙනෙකුට ඉස්සෙල්ලා අවස්ථාවක් දෙනවා මෙයාට තරඟ කරන්න බෑ කියන්න. මොකද මගේ ස්ථාවරය වෙන්නේ මට තරඟ කරන්න පුළුවන් එයා එතන ඉන්නවා නම්. ඒ වෙනුවට සරත් සිල්වාට ඔය ප්‍රශ්න අදින්න දෙන්නේ නැතිව එයාම අහනවා මගේ එක වලංගු ද කියලා. මහ මෝඩ වැඩක් නේ ඕක. මේක වලංගු ද කියලා. ඉතින් මොකක්ද ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලන්නේ උපදේශක තීන්දුවක්. ඒ උපදේශක තීන්දුව කියන්නේ මොකක්ද?. ඒ කියන්නේ උපදේශයක්. ඒක බලපාන්නේ නෑ. ඒක දුන්නේම විනිශ්චයකාරවරුන්ට කවුරු හරි නඩුවක් දැම්මා නම් මේක ‍ප්‍රකාශ කළායින් පස්සේ ඔය තීන්දුව අමතක කරලා වෙනස් විදියට දෙන්න පුළුවන්. සාමාන්‍ය නඩු තීන්දුවක් නම් එක් බැඳී සිටිනවා. ඒක ඉවත් කරන්න පුළුවන් ඊට වඩා සංඛ්‍යාවෙන් විශාල උසාවි නඩුකාරවරුන් ඉන්නවා නම් විතරයි. දැන් මේක උපදේශක, කිසි‍විටෙක මේ උපදේශක තීන්දු අපිට බලපාන්නේ නෑ.


ඉතින් මම අහන්නේ මොනාටද ගිහින් මෙච්චර මේ මහන්සි වෙන්නේ. ඇයි ජනාධිපති ප්‍රශ්නේ අහන්නේ ඒ තීන්දුව බලපාන්නේ නැති නම්. නඩුකාරවරු විශාල සංඛ්‍යාවක් ඉන්නවානම්, ව්‍යවස්ථාවේ කියන්නේ නඩුකාරවරු 5 දෙනයි අහන්න ඕන කියලා. එහෙම දැම්මේ මේක ආපහු උසාවියට ගියොත් මේ නඩුව ඇහුව නැති නඩුකාරවරුන්ට ඒ සැරේ තීරණය දෙන්න පුළුවන්. නඩුකාරවරු මෙතන මේ නඩුව අහන අයට ආපහු ගිහින් නොවැම්බර් මාසයේ ඔය නඩුව ආවොත් ඒ නඩුකාරයෝ නඩුව අහන්න එනවානේ, දැන් මේ උපදේශය නිසා. ඇත්ත නඩුවක් අහන්න එනවා නම් මේ උපදේශය දුන්න නඩුකාරවරුන්ට විරුද්ධ වෙන්න පුළුවන්. ඔක්කොම නඩුකාරයෝ දැම්මොත් ඉතින් ඔක්කෝටම විරුද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්නය විස‍ඳෙන්නේ නෑනේ එතකොට. මහ අර්බුදයකට යන්නේ. එයාට තරඟ කරන්න පුළුවන් ද නැද්ද කියලා.


ඒ අර්බුදය කවුද ඇති කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හා රාජපක්ෂ රෙජිමයයි. ඒ ගොල්ලොනේ 18 වැනි සංශෝධනය ගෙනාවේ. ඒ ගොල්ලොයි මේක ප්‍රකාශ කරායින් පස්සේ නඩුවක් දාලා තීරණයක් ගන්නැතිව මේ උපදේශයක් ගත්තේ. උපදේශයෙන් වටිනාකමක් නෑ. කොච්චර කෑ ගැහුවත් උපදේශනයෙන් ගන්න දෙයක් නෑ. ඉතින් මහ අවුලක් දැන් ඇති කරලා තියෙන්නේ. ඒ අවුල විසඳන්න නම් ආපහු තව ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න තියෙනවා.”



Post a Comment