පොදු අපේක්ෂකයා කවුද?

විධායක බලතල අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විය නොහැකි බවත්, මේ නිසා පවත්වන ඕනෑම මැතිවරණයක් සිය බලතල යොදා ජයග්‍රහණය කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට හැකියාව ඇති බවත්, විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

මේ නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ස්වාධීන කොමිෂන් සභා පිහිටුවන්නැයි තමා ඇතුළු ‍පොදු විපක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හෙතෙම අවධාරණය කරයි.


ඒ අනූව එය 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කළ හැකි නම් එසේ කරන්නැයිද තමා ඉල්ලා සිටින බව විපක්ෂනායකවරයා සඳහන් කරයි.


රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන්කළේ අද (10) පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.


සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය විසින් පැවැත් වූ එම ප්‍රවෘත්ති සාකච්ඡාවට විපක්ෂයේ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන රැසක නියෝජිතයින් එක්ව සිටි අතර පොදු අපේක්ෂකයෙකු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම පිළිබඳව දැනුම්දීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.


ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙස ඉල්ලා කොළඹ මුත්තයියා ක්‍රීඩාංගණයේදී අනිද්දා (12) විපක්ෂයේ ප්‍රධාන පක්ෂවල සහයෙන් ජන හමුවක් පැවැත්වීමට ද සැලසුම් කර ඇත.


අද පැවැති මාධ්‍ය හමුවට සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමි,ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා,එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය, තිස්ස අත්තනායක, රවි කරුණානායක,ලක්ෂ්මන් කිරිඇල්ල, කබිර් හෂීම්, ජයන්ත කැටගොඩ, හේමකුමාර නානායක්කාර, අසාද් සාලි යන මහත්වරු සහ ලංකා සමසමාජ පක්ෂයේ හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ විකල්ප කණ්ඩායම් වල නියෝජිතයින් සහභාගි වී සිටියහ.



Post a Comment