තාත්තගේ මරණය ගැනවත් නොබැලූ සජිත් ජනාධිපති වෙන්න හදනවා

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සජිත් ප්‍රේමදාස මහතා උත්සාහ කළද හෙතෙම කිසි දිනෙක අමාත්‍ය ධූරයක් හෝ දරන ලද පුද්ගලයෙකු නොවන බව සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා පවසයි.

තමන්ගේ පියා ඝාතනයට ලක්වූ පසු ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට බලකිරීමක් හෝ නොකළ ප්‍රේමදාස පැයක් තුළ එම ස්ථානය සෝදා පිරිසිදු කළ බවද පෙරේරා මහතා සඳහන් කළේය.


තමා වන් කෙනෙකුගේ පියාට එවැනි අකල් මරණයක් සිදුවීනම් ඒ පිළිබඳ ඇතිවන කම්පනය සුළුපටු නොවන බවත්, එසේ වීනම් ඒ පිළිබඳ නිසි පරීක්ෂණයක් කරවා අපරාධකරුවන්ට දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.


අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා මේ බව කියා සිටියේ අද(10) ජාඇල, තුඩැල්ල නගරයේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයක් විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.


අද දවසේ කටමැත දොඩවන ජනතා විමුක්ති පෙරමුණද තම පක්ෂයේ නිර්මාතෘවරයා වන රෝහණ විජේවීර මරාදැමීමේ සිද්ධිය ගැන හෝ ඔහුගේ ඝාතකයන්ට දඬුවම්දීමට කිසිදු උනන්දුවක් නොදක්වන බව අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.


තමා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අවස්ථාවන් ගණනාවකදී අමාත්‍ය ධූර ගණනාවක් හෙබවූ බවත්, මීට පෙරාතුව ධීවර අමාත්‍යංශයේ කටයුතු කළ බවත් ෆීලික්ස් පෙරේරා මහතා සිහිපත් කළේය.


එසේ වුවද තමා කිසි විටෙකත් රු.25,000 ට අනුන්ගේ බෙලි කැපුවේ නැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



Post a Comment