අස්ථී බිඳිලා නෑ - තැළීමක් විතරයි - අන්තරේ කියන්නේ බොරු!

විශ්ව විද්‍යාල සිසුන් සඳහා ලබාදෙන නායකත්ව පුහුණුව අතරතුර සිදුවු අනතුරකින් සිසුවියකගේ කෂේරුකාවේ අස්ථි බිඳීමක් සිදුව ඇති බවට සිදුකරන ප්‍රකාශ යුද හමුදාව ප්‍රතික්ෂේප කරයි.

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිග්‍රේඩියර් රුවන් වනිගසූරිය මහතා සඳහන් කළේ දීර්ඝ කාලීනව බලපාන රෝගී තත්ත්වයකට එම සිසුවිය පත්ව නොමැති බව අනුරාධපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී ඇති බවයි.


නායකත්ව පුහුණුව අතරතුර පසුගිය 09 වනදා අඩි 06ක උසින් යුතු තාප්පයකින් පැනීමට යාමේ දී කෞෂල්‍යා විජිතමාල් නැමැති සිසුවිය අනතුරට ලක්වු බව සඳහන්ය.


මේ සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවසුවේ එම අනතුරින් සිසුවියගේ කෂේරුකාවේ අස්ථි බිඳීමක් සිදුව ඇති බවයි.


කෙසේවෙතත් එය ප්‍රතික්ෂේප කරමින් අද කොළඹ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වු බ්‍රිග්‍රේඩියර් රුවන් වනිගසූරිය මහතා කියා සිටියේ වෛද්‍ය නිර්දේශයට අනුව සිසුවියගේ අස්ථි බිඳීමක් හෝ පිපුරුමක් සිදුව නොමැති අතර තැළීමක් පමණක් සිදුව ඇති බවයි.


සිසුවිය අනතුරට ලක්වු දින අනුරාධපුර ශීක්ෂණ රෝහලට ඇතුළත් කළ අතර ඇය ඊයේ දිනයේ ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව ඔහු සඳහන් කළේය.


මෙවර නායකත්ව පුහුණුව මේ වන විට සාර්ථකව අවසන් වෙමින් පවතින බවත්, පුහුණුවේ දී වාර්තා වු එකම සුළු හෝ සිදුවීම මෙය බවත්, බ්‍රිග්‍රේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසුවේය.



Post a Comment