පිවිතුරු හෙටක් වේදිකාවට චන්ද්‍රිකා නඟියි ද?

පිවිතුරු හෙටක් සංවිධානය සහ ජාතික සංවිධාන එකමුතුව සංවිධානය කරන දැවැන්ත විරෝධතා රැළි දෙකක් අද පස්වරුවේ කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

අද පස්වරු 3ට පිවිතුරු හෙටක් සංවිධානයේ රැළිය කොළඹ මුත්තයියා ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අතර ජාතික සංවිධාන එකමුතුව සංවිධානය කරන විරෝධතා රැළිය පස්වරු 2ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙයි.


පිවිතුරු හෙටක් සංවිධානයේ විරෝධතා රැළිය පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් සංවිධානය කර තිබේ.


මෙම රැළිය සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ජාතික හෙළ උරුමය සහභාගී වීමට නියමිත බව එහි මාධ්‍ය ප්‍රකාශක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ප්‍රකාශ කළේය.


එහිදී දේශපාලන තීන්දු කිහිපයක් ගැනීමට නියමිත බව ද ඔහු පැවසීය.


මෙම රැළිය සඳහා එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්වීමට නියමිත අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද මෙම රැළියට සහභාගී වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.


කෙසේ වෙතත් පුජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කළේ විධායක ජනාධිපති ධූරයේ බලතල සීමා කරන ලෙස ආණ්ඩුවට බලකර සිටින බවයි.


මේ අතර ආණ්ඩුවට විකල්ප යෝජනා ඉදිරිපත් කරමින් ජාතික සංවිධාන එකමුතුව සංවිධානය කරන ජන රැළිය ‘‘රට ආපස්සට අදින පරගැති මෙහෙයුම් පරදවමු‘‘ යන තේමාව යටතේ පැවැත්වීමට නියමිතය.


මෙහිදී ආණ්ඩුවට යොජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම ජන රැළිය සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වලට ද ආරාධනා කර ඇත.


කෙසේවෙතත් ජාතික නිදහස් පෙරමුණ ඇතුළු දේශප්‍රේමි සංවිධාන කිහිපයක් මෙම ජන රැළියට එක්වීමටෙ නියමිතය.



Post a Comment