යුද නෞකා ගැන චීනයෙන් ඉන්දියාවට පිළිතුරු දෙයි

කොළඹ වරායට සිය යුද නෞකා පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව කලබල නොවිය යුතු බව චීනය පවසයි.

එරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ යුද නෞකා සහ සබ්මැරීන ජාත්‍යන්තර වරායන් වෙත සුහද චාරිකා සඳහා පැමිණීම සාමාන්‍ය සිදුවීමක් බවයි.


කොළඹ වරායට චීන යුද නෞකාවක් සහ සබ්මැරීනයක් පැමිණීම සම්බන්ධයෙන් ඉන්දීය රජයේ විශේෂ අවධානයක් යොමුවී ඇති බවට පසුගිය දිනවල ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.


අදාළ වාර්තා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් චීන ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ සුහද චාරිකාවක් සඳහා චීන නෞකාව සහ සබ්මැරීනය කොළඹ වරායේ නවතා තැබෙන බවයි.


දින පහක කාලයක් අදාළ නෞකාව සහ සබ්මැරීනය කොළඹ වරායේ තිබෙන අතර ඉන්ධන ලබාගැනීම සහ නාවිකයන්ට විවේක ලබාගැනීම මෙහි අරමුණ බව වාර්තා වෙයි.


මීට පෙර චීන ජනාධිපති ෂී ජින්පිංගේ ශ්‍රී ලංකා සංචාරය අතර තුර ද චීන සබ්මැරීනයක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ තිබුණි.


මේ අතර ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ යුද අභ්‍යාසයක් කුඩාඔය යුද හමුදා කමාන්ඩෝ පුහුණු පාසලේ දී ආරම්භ වී තිබේ.



Post a Comment