අසාධාරණයි -අපි විරුද්ධයි -ජගත් මානව හිමිකම් කාර්යාලයට ශ්‍රී ලංකා රජයේ අප්‍රසාදය

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය සඳහා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් තවදුරටත් පැමිණිලි බාරගැනීම පිළිබඳ ශ්‍රී ලංකා රජය අප්‍රසාදය පළ කරයි.

අදාළ විමර්ශන කමිටුව වෙත පැමිණිලි ඉදිරිපත් කිරිම සඳහා ලබාදි තිබු කාලය පසුගිය මස 30 වැනිදායින් අවසන් වන බවට මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය මීට පෙර ප්‍රකාශ කර තිබුණි.


කෙසේ වෙතත් පසුගිය දා එම කාර්යාලය ප්‍රකාශ කර තිබුණේ විමර්ශනයට අදාළ කරුණු ඉදිරිපත් කිරිම සඳහා ලබා දී තිබු කාලය අවසන් වුව ද ප්‍රමාද වී ලැබෙන කරුණු ඉදිරිපත් කිරීම් ප්‍රතික්ෂේප කිරීමක් සිදු නොවන බවයි.


මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසන්නේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ගෙන ඇති මෙම තීරණය එක්තරා පිරිසකගේ වාසිය සඳහා ගෙන ඇති තීරණයක් බවයි.


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ ප්‍රධාන පැමිණිලිකාර දූත මණ්ඩල ප්‍රධානීන්, එහි නියෝජිතයින් හා ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සමග විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.


එහිදී තවදුරටත් අදහස් දක්වමින් ජී. එල් පීරිස් මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ දී තෝරාගත් පිරිසකට නිශ්චිත ප්‍රතිඵල ලබාගැනීම සඳහා තමන් කැමති තොරතුරු සපයා ගත හැකි ආකාරයේ පක්ෂපාතී ප්‍රවේශයක් අනුගමනය කරමින් සිටින බවයි.


ඒ සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කළ අමාත්‍යවරයා මෙම දෝෂ සහගත ක්‍රියා කලාපය හේතුවෙන් යුක්තිය හා සාධාරණත්වය උල්ලංඝණය වන බව ද ප්‍රකාශ කර ඇත.



Post a Comment