පොලීසියේ 5ක් අත්අඩංගුවේ

බද්දේගම, අගලිය පොලිස් මුරපොළේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් 05 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් අත්අඩංගුවේ පසුවු සැකකරුවෙකුට සාහසික ක්‍රියාවක් සිදුකර අතුරුදන් කිරීමේ චෝදනා යටතේ එම පොලිස් නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේය.


පසුගිය වසරේ සැප්තැම්බර් මස 16 වැනිදා අදාළ සැකකරු එම ප්‍රදේශයේ පුද්ගලයෙකුට බැණ තර්ජනය කර බලහත්කාරයෙන් නිවසකට ඇතුළු වී පහරදීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබිණ.


අත්අඩංගුවට ගෙන දින දෙකකට පසු සැකකරු පළා ගිය බවට අදාළ නිලධාරින් ප්‍රකාශ කර තිබු බව අජිත් රෝහණ මහතා පැවසුවේය.


මෙම ප්‍රකාශය සැක සහිත බවට සැකකරුගේ ඥාතීන් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබුණි.


ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිලධාරින් වගකිව යුතු බවට අනාවරණය වීම හේතුවෙන් එවකට අගලිය පොලිස් මුරපළේ සේවය කළ පොලිස් ස්ථානාධිපතිවරයා, පොලිස් සැරයන්වරයෙකු, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු සහ පොලිස් ආරක්ෂක සහයකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.


ඔවුන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 24ක රැදවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.


සැකකරුවන් හෙට බද්දේගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment