මීරියබැද්දට සුනඛයින්ගේත් සහය - විපක්ෂ නායක ශෝක දිනයක් ඉල්ලයි

කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ නායයෑමට ලක්වු භූමියේ සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ මෙහෙයුම් තෙවන දිනටත් අද (31) පෙරවරුවේ සිට ආරම්භ කර තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මෙහෙයුම් කටයුතු ඉතා සෙමෙන් සිදු කිරිමට සිදුව ඇති බව යුධ හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා ප්‍රකාශ කළේය.


සිරවී සිටින පුද්ගලයින් සෙවීම සඳහා යුධ හමුදාව විසින් නිල සුනඛයන් ද යොදාගෙන තිබේ.


පෙරේදා සිදූවූ මෙම නායයාමෙන් අතුරුදන් වූවන් ගණන සියයට වැඩි බව ආපදා කළමනාකරණ බලධාරීන් කියයි.


මේ අතර මෙතෙක් සොයාගෙන ඇත්තේ මළ සිරුරු 3කි.


නිවාස 66ක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුමට හමුදාවෙන් 700ක් පමණ ද ගුවන් හමුදාවෙන් නිලධාරීන් 52ක්ද හෙලිකොප්ටර් යානා වල සහය ද ලබා ගෙන ඇත.


මේ අතර අවතැන් කඳවුරු තුනක විපතට පත්වූවන් 1200ක පමණ පිරිසක් මේ වන විට රඳවා ඇත.


ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ඇතුළු සෙසු පහසුකම් ලැබෙන බව එම කඳවුරු වල ප්‍රතිකාර කටයුතු වල නිරතව සිටින වෛද්‍ය එරංග අසේල මහතා ප්‍රකාශ කළේය.


මේ අතර විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිත පිරිසක් අද පෙරවරුවේ මීරියබැද්ද ප්‍රදේශයේ සංචාරයක නිරත වුණි.


අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කළේ විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සිය පක්ෂයේ සහය පළ කරන බව එහිදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළ බවයි.


නායයෑමෙන් විපතට පත්වූවන් වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ප්‍රකාශ කළ යුතු බව ද විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කර තිබේ.


මේ අතර නායයෑමෙන් විපතට පත්වූවන් පොදු රාජ්‍ය මණ්ඩලය වෙනුවෙන් සංවේගය පළ කරන බව පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් කමලේශ් ශර්මා මහතා පවසයි.


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් කමලේශ් ශර්මා මහතා සිය සංවේගය පල කර ඇත.


කමලේශ් ශර්මා මහතා පසුගිය සතියේ දී මෙරට සංචාරයක ද නිරත වුණි.



Post a Comment