පරිපූරක වෛද්‍ය සේවා වර්ජනයට එරෙහිව අතුරුතහනම් නියෝගයක්

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් විසින් කරගෙන යනු ලබන වැඩවර්ජනය අත්හිටුවන ලෙස කොළඹ දිසා අධිකරණයෙන් අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

රෝගියෙකු විසින් ගොනු කළ පෙත්සමක් සලකා බලා අධිකරණය විසින් එළඹෙන සැප්තැම්බර් මස 12වන දින දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අතුරුතහනම් නියෝගය සිදුකෙරුණු බව අද දෙරණ වාර්තාකරු පවසයි.


ඉල්ලීම් කිහිපයක් අරමුණු කර ගනිමින් පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනයට අදට(29) දින 4කි.


මේ හේතුවෙන් දිවයින පුරා රෝහල්වල කටයුතු බොහෝ සෙයින් අඩපණවී ඇතත්, බලධාරීන් සමග කරන ලද සාකච්ඡා මගින් විසඳුමකට එළඹීමට නොහැකිවීම හේතුවෙන් ඉල්ලීම් ලැබෙනතුරු වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය නිවේදනය කර තිබිණි.


කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහලේ රෝගියෙකු විසින් ගොනුකරන ලද පෙත්සමක් සලකා බැලූ ප්‍රධාන විනිසුරු සුජාතා අලහප්පෙරුම විසින් ‘පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය‘නියෝජනය කරනු ලබන වෘත්තීය සමිති 5ට මෙම අතුරුතහනම් නියෝගය ලබාදුන් බව අද දෙරණ වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියි.



Post a Comment