ඩෙල්ෆ් සභාපති ඝාතනයේ උතුරේ හිටපු විපක්ෂ නායකට ඇප ලැබෙයි

ඩෙල්ෆ් ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති 44 හැවිරිදි ඩැනියෙල් රෙක්සියන්ගේ ඝාතනයේ ප‍්‍රධාන සැකකරු වන උතුරු පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක කන්දසාමි කමලේන්ද්‍රන් යන අය අද (29) ඇප මත නිදහස් කර තිබේ.

සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු යාපනය මහාධිකරණ විනිසුරු අන්නලිංගම් ප්‍රේම්ශංකර් මහතා විසින් මෙලෙස ඇප ලබාදුන් බව අද දෙරණ වාර්තාකරු පවසයි.


ඒ අනුව කන්දසාමි කමලේන්ද්‍රන් යන අය රු.ලක්ෂ 2ක මුදල් ඇපයක්ද, ලක්ෂ 5 බැගින් වන ශරීර ඇප දෙකක් ද මත නිදහස් කෙරුණු අතර ඝාතනයට ලක්වුණු සභාපතිවරයාගේ බිරිඳ වන අනීතා රෙක්සියන්ට මුදලින් රු.50,000 ක ද, රු. ලක්ෂ 1 බැගින් ශරීර ඇප දෙකක්ද මත නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.


ඝාතනයේ ප්‍රධාන සැකකරු වන කමලේන්ද්‍රන්ට දැඩි ඇප කොන්දේසි පනවා විනිසුරුවරයා විසින් අවවාද කළ බවත්, ඒ අනුව නඩුවේ විත්තිකරුවන්ට බලපෑම් කළ නොහැකි බවත්, විදේශ ගතවීම තහනම් බවත්, සතියකට එක් වරක් වැල්ලවත්ත පොලීසියේ අත්සන් කළ යුතුව ඇති බවත් , යාපනය ප්‍රදේශයේ වාසය කළ නොහැකි බවත් විනිසුරු විසින් අවධාරණය කළ බව අප වාර්තාකරු පවසයි.


මෙම නියෝගයන්ට පටහැණිව ක්‍රියා කළ හොත් ඇප අවලංගු කර වහා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන බව විනිසුරුවරයා විසින් සඳහන් කර ඇත.


සැකකරුවන් විසින් මේ වසරේ පෙබරවාරි මාසය තුළදී ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පතක් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස අද දිනයේ ඇප ලබාදීම සිදුකළ බවත්, ඝාතනයට සැක පිට අත්අඩංගුවට ගෙන සිටින තෙවන විත්තිකරු ඇප ඉල්ලා නොමැති බැවින් ඔහුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද නියෝග කර තිබේ.


ඝාතනයට ලක්වූ සභාපතිවරයාගේ බිරිඳ වන අනීතා රෙක්සියන්, ප්‍රධාන සැකකරු වන කමලේන්ද්‍රන් සමග සමග පවත්වාගෙන ගිය අනියම් සම්බන්ධයක් මත මෙම මනුෂ්‍ය ඝාතනය සිදුවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබුණි.


හිසේ තුවාලයක්ද සහිතව හිටපු ඩෙල්ෆ් සභාපතිවරයා පුංකුඩුතිවු දුපතේ පිහිටි ඔහුට අයත් නිවසේ 2013.11.26 දින මියගොස් තිබුණි.


ස්වාමි පුරුෂයා “වස පානය කර සිය දිවි හානි කරගන්නට ඇති බවත් මරණය පිළිබඳ සැකයක් නොමැති බවත්” එම අවස්ථාවේදී ඔහුගේ බිරිඳ වන රෙක්සියන් අනීතා ප‍්‍රකාශ කර තිබූ බව එකල පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැ‍ක්විණි.


කෙසේ වෙතත් පසුව මෙම මරණය සැක සහිතවීම හේතුවෙන් මේ පිළිබඳ පරීක්ෂණ සිදුකළ පොලීසිය මෙය ඝාතනයක් බව තහවුරු කර ගැනීමෙන් පසු ඊට සැකපිට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලදී.



Post a Comment