බිබිල තුවක්කු භීෂණය ඉහළ යයි - විපක්ෂයේ කාර්යාල 18ට හානි

මොණරාගල, බිබිල ඡන්ද බල ප්‍රදේශයේ විපක්ෂයේ පක්ෂ කාර්යාල 18 කට ඊයේ දිනයේ ආයුධ සහිතව පැමිණි කණ්ඩායම් පහරදී විනාශ කිරීමත් සමගම ප්‍රදේශයේ ඡන්දදායකයින් සහ දේශපාලන ක්‍රියාකාරිකයින් දැඩි බියට පත්වී සිටින බව කැෆේ සංවිධානය කියයි.

මෙම ප්‍රහාර එල්ල වු කාර්යාල අතර එජාපයේ කාර්යාල 13 ක්, ජවිපෙ 4 ක් සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කාර්යාලයකට හානි සිදුව ඇති බව එම සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


එකී නිවේදනයේ මෙසේද සඳහන්ය.


අගෝස්තු 24 (ඊයේ) දින අලුයම ආරම්භ වූ මෙම ප්‍රහාර මාලාව පැය 6 කට වැඩි කාලයක් තුළ සිදුවී ඇති අතර ප්‍රහාරය එල්ල කල පිරිස බිබිල පොලිස් බල ප්‍රදේශයේ නිදහසේ සැරි සරමින් මෙම ප්‍රහාර මාලාව දියත් කොට ඇති බව වාර්තා වේ.


ප්‍රහාරයෙන් කටවුට්, බැනර් විනාශ වී ඇති එජාප කාර්යාල ඉලුකාපතන, සේනාපතිය, බකිනිහගවෙල, මැදගම, කණුල්වල, හෙරලියවල, නන්නපුරාව, ගල්කුඹුර, වෑගම, හෑපොල, රදලියද්ද, යන ප්‍රදේශයෙන් හි පිහිටුවා තිබුණි. බිබිල මොණරාගල පාරේ පිහිටි කණුල්වල එජාප කාර්යාලයේ හිමිකරුවන මොහොමඩ් නසීර් මහතාගේ නිවසට පැමිණි ඔහුට ගිනි අවි පෙන්වා ‘නැවත පක්ෂ කාර්යාල පිහිටුවන්නේ නම් මරා දමන බවට තර්ජනය කළ බව ද‘ ඔහු පවසයි. බිබිල ඡන්ද කොට්ඨාශයේ එජාපය විසින් කාර්යාල 24 ක් ස්ථාපනය කොට ඇති අතර එයින් අඩකටත් වැඩි සංඛ්‍යාවක් මේ වන විට ප්‍රහාරයට ලක්වී ඇත.‍


අගෝස්තු 24 දහවල් බඩල්කුඹුර පරණ අලුපොත එජාප කාර්යාලය ඉවත් කර ගන්නා ලෙස තර්ජන කර තිබේ.


එදින අලුයම 3.15 ට පමණ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂක සමන් කුමාර අබේරත්න මහතා ගේ බිබිල මොණරාගල පාරේ පිහිටි කාර්යාලයේ කටවුට් විනාශ කොට ඇති අතර පැමිණි මැර කණ්ඩායම අපේක්ෂකයාට මරණීය තර්ජන ද සිදු කර ඇත.


ජනතා විමුක්ති පෙරමුණේ බිබිල මැතිවරණ කාර්යාල 4 කට ද මෙදින ප්‍රහාර එල්ල වී ඇත. බිබිල ඡන්ද කොට්ඨාශයේ ඔබ්බේගොඩ, මරියාරාව, වැලියාය කාර්යාලවලටත් කතරගම - මයුරගම පිහිටි කාර්යාලයකට ද මෙදිනම ප්‍රහාර එල්ල වී ඇත. මැතිවරණය ආරම්භවීමෙන් පසුව මොණරාගල දිස්ත්‍රික්කයේ ජවිපෙ කාර්යාල 12 කට ප්‍රහාර එල්ල වී ඇත. මෙයට පෙර කතරගම සේල්ලකතරගම ජවිපෙ කාර්යාලයට සිදු කළ පහරදීමෙන් එම පක්ෂයේ ආධාරකරුවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.


තර්ජන කිරීම් සහ කාර්යාලය කඩා බිද දැමීම හේතුවෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල ඡන්ද කොට්ඨාශයේ දැඩි බියක් විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් අතර මතුව තිබේ.


පළාත් සභා මැතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසුව මේ දක්වා පැමිණිලි 74 ක් කැෆේ සංවිධානය වෙත වාර්තා වී ඇත. ඊයේ දිනය මෙවර මැතිවරණයේ මෙතෙක් වැඩිම ප්‍රචණ්ඩක්‍රියා වාර්තා වූ දිනය වූ අතර මොණරාගල බිබිල ඡන්ද බලප්‍රදේශයෙන් පමණක් පැමිණිලි 18 ක් වාර්තා විය.



Post a Comment