1000 හොර එකක් කීවාට පසු 100 කොළ දෙකක් දීලා

ඉන්ධන ලබාගැනීම සඳහා ව්‍යාජ රුපියල් 1000ක මුදල් නෝට්ටුවක් ඉදිරිපත් කර පළාගිය තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මහඔය සමූපකාර ඉන්ධන පිරවුම් හලට පැමිණි යතුරු පැදිකරුවෙකු ඉන්ධන ලබාගැනීම සඳහා රුපියල් 1000ක මුදල් නෝට්ටුවක් ඉදිරිපත් කර ඇති අතර ඉන්ධන පිරවුම් හලේ අයකැමියා විසින් එය ව්‍යාජ මුදල් නෝට්ටුවක් බවට හඳුනාගෙන ඇත.


මුදල් අයකැමියා විසින් ඒ පිළිබඳ යතුරුපැදිකරු දැනුවත් කළ පසු ඔහු එම මුදල් නෝට්ටුව ලබාගෙන රුපියල් සියයයේ මුදල් නෝට්ටු 02කින් අදාළ මුදල ගෙවා පළාගොස් ඇති බව පොලිසිය පැවසුවේය.


පසුව ඉන්ධන පිරවුම් හලේ අයකැමියා විසින් මහඔය පොලිස් ස්ථානයට මේ බව දැනුම් දී ඇති අතර ඒ අනුව අදාළ සැකකරු පදියතලාව නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට‍ ගෙන ඇත්තේ 22 හැවිරිදි පදියතලාව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.


සැකකරු දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment