නුගේගොඩ රන්බඩු සාප්පුවක් මහ දවල් කොල්ලකති - Jewellery Shop Robbed in Nugegoda

ලක්ෂ 10 ක රන් භාණ්ඩ රැගෙන පලා යති

නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ පිහිටි ස්වර්ණාභරණ අලෙවි සලකට ඊයේ (04) පස්වරුවේදී ආරක්ෂක හිස්වැසුම් පැලඳ ඇතුළු වූ දෙදෙනෙක් පිස්තෝල පෙන්වා එහි සේවකයන් බියවද්දා එහි තිබූ රුපියල් ලක්ෂ 10 ක පමණ වටිනාකමින් යුත් රන් භාණ්ඩ පැහැරගෙන ගොස් තිබේ.

ඊයේ පස්වරු 3.45ට පමණ සිදු වූ මෙම කොල්ලය විනාඩි හතරක පමණ කාල සීමාවක් තුළ කර ඇති එම කොල්ලකරුවන් දෙදෙනා වෙළෙඳස‍ලේ තිබූ රන් මුදු අඩංගු පෙට්ටි 08 ක් පැහැරගෙන ගොස් ඇති බවද ‍පොලිසිය සඳහන් කරයි.

එසේ කොල්ලකන ලද එක් පෙට්ටියක රන් මුදු 24 ක් පමණ තිබූ බවද එහි සේවකයන් ‍පොලිසියට පවසා ඇත.
මෙම කොල්ලය සිදුවන අයුරු එම ස්වර්ණාභරණ අලෙවි සලෙහි සී.සී.ටී.වී. කැමරා පද්ධතියෙහි සටහන්ව ඇති බවද ‍පොලිසිය පවසයි.ඊයේ පස්වරු 3.45ට පමණ සිදු වූ මෙම කොල්ලයට සම්බන්ධ දෙදෙනා යතුරු පැදියකින් නුගේගොඩ චැපල් පාරෙන් ඇතුළු වී ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

කොල්ලකරුවන් අසල පිහිටි පෞද්ගලික බැංකුවක් පිටුපස සිය යතුරු පැදිය නවතා පා ගමනින් ස්වර්ණාභරණ අලෙවි සලට පැමිණ ඇති බවද ‍පොලිසිය පවසයි. ඔවුන් දෙදෙනා පිස්තෝල පෙන්වා ස්වර්ණාභරණ අලෙවි සලට ඇතුළු වන ආකාරය සී.සී.ටී.වී. කැමරා දර්ශනවල සටහන් වී ඇති අතර පසුව ඔවුන් එහි තිබූ රන් භාණ්ඩ බහා තිබූ පෙට්ටිද රැගෙන පලා ගොස් ඇති බව ‍පොලිසිය පවසයි.

කොල්ලකරුවන්ගෙන් අයකු කළු පැහැති අත් දිග කමිසයක් ඇඳ සිටි බවද ‍පොලිසිය පවසයි.
මෙම කොල්ලයෙන් පසුව ඔවුන් දෙදෙනා නැවත තමන් පැමිණි යතුරු පැදියද රැගෙන පලා ගොස් ඇති බවද ‍පොලිසිය සඳහන් කරයි.
මෙම සිද්ධිය ඒ අසල පිහිටි පුද්ගලික බැංකුවක ආරක්ෂක නිලධාරියකු හා තවත් පුද්ගලයකු දැක ඇති බවත් ඔවුන්ගේද ප්‍රකාශ ඉදිරියේදී සටහන් කර ගන්නා බවත් උසස් ‍පොලිස් නිලධාරියෙක් රිවිරට පැවසීය.

කොල්ලය සිදුවන අවස්ථාවේදී එම ස්වර්ණාභරණ අලෙවි සලෙහි සිට ඇත්තේ සේවකයන් දෙදෙනෙකි. කොල්ලයට විනාඩි කිහිපයකට පෙර එහි සිටි අනෙක් සේවකයා එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබූ බවද ‍පොලිසිය සඳහන් කරයි.
මේ ආකාරයටම ඉකුත් පෙබරවාරි 4 වැනිදා කොහුවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක්ද කොල්ලකා තිබූ අතර ඊට පෙරද මාලඹේ, මතුගම, ප්‍රදේශවල පෞද්ගලික බැංකු දෙකක්ද කොල්ලකා තිබුණි.

මෙම කොල්ලකෑම් එකම කල්ලියක් විසින් මෙහෙයවා කරනු ලබන බව ‍පොලිසිය සැක පහළ කරයි.
මිරිහාන මූලස්ථාන ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක රොෂාන් රාජපක්ෂ හා එහි අපරාධ අංශයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක රොෂාන් අනුරුද්ධ යන මත්වරුන්ගේ උපදෙස් හා මෙහෙයවීම මත ‍පොලිස් සැරයන් දිසානායක (56994) ‍පොලිස් කොස්තාපල්වරුන් වන කෝසල (82128), දනුෂ්ක (40730), ප්‍රමිල (69080), චතුරංග (82625) ඇතුළු නිලධාරීහු කණ්ඩායම සහ තවත් ‍පොලිස් කණ්ඩායම් දෙකක් විසින් ඒ කොල්ලය පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.

චාමර අමරසූරිය

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment