2014 අලුත් අවුරුද්දේ කලාකරුවන්ගේ බලා‍පොරොත්තු......

විවාහය තමයි ලොකුම බලා‍පොරොත්තුව - දමිතා අබේරත්න

ලබන අවුරුද්දේ මුල් කාලය නම් ගෙවුණු හැම අවුරුද්දකම වගේ කාර්යබහුල වේවි. අලුත් චිත්‍රපටයක වැඩකටයුතු වගේම විදෙස් සංචාර කිහිපයකුත් තියෙනවා. අනිත් අතින් ජීවිතේ පැත්තෙන් ගත්තාම මගේ විවාහයට සූදානමක් තියෙනවා. ඒක බොහොම ගෞරවයෙන් කරන්න සූදානම් වෙන කටයුත්තක්. බොහෝ වෙලාවට බොහොම චාම් විදිහට ඒ දේවල් සිදුවේවි. 

මට තියෙන වැඩකටයුතු නිසා හරියටම දින වකවානු නියම කරගෙන නැති වුණත් ලබන අවුරුද්දේ විවාහය වෙනුවෙන් කාලය වුවමනා නිසාම ටිකක් අඩුවෙන් තමයි වැඩ භාරගත්තේ. කොහොම වුණත් ලබන අවුරුද්දේ මගේ විවාහය සිදුවෙනවා. ලබන අවුරුද්ද ගැන තියෙන ලොකුම බලා‍පොරොත්තුවත් විවාහය තමයි.

අමුතු චරිත රඟපාන්න ඕන - රොෂාන් රණවන

මාව වෙනස්ම විදිහකට දකින්න ලැබෙන 'ස්පන්දන' කියන චිත්‍රපටයත්, 'කළු සෙවණැලි' කියන ටෙලි නාට්‍යයත් ලබන අවුරුද්දේ දකින්න ලැබෙනවා. කලාකරුවෙක් විදිහට හොඳ, වෙනස් විදිහේ නිර්මාණ ලැබේවි කියන බලා‍පොරොත්තුව තියෙනවා. 

මේ අවුරුද්දේදී නම් මම බලා‍පොරොත්තුවෙන් හිටපු වෙනස් විදිහේ චරිත මට ලැබුණා. මම කැමැති මගේ පෙනුම පවා වෙනස්වෙලා මතෛක් කවුරුත් මාව නොදැකපු විදිහේ චරිතවලින් ප්‍රේක්ෂකයන් අතරට යන්න ලැබෙන එකට. මම හිතනවා ලබන අවුරුද්දේදිත් මට ඒ වගේ චරිත ලැබේවි කියලා. ඒ වගේම මම මගේ අලුත් නිවසක වැඩකටයුතු දැන් පටන් අරගෙන තියෙන්නේ. නිවසේ වැඩකටයුතුත් ලබන අවුරුද්දේදී ඉවර වේවි කියලා හිතනවා.

පුතා වෙනුවෙන් කාලය කැපකරනවා - ඕෂධී හේවාමද්දුම

අලුත් අවුරුද්දෙදිත් නිර්මාණ කීපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ අතරින් තෝරාගත්තු හොඳ නිර්මාණවලට දායක වෙනවා. මේ අවුරුද්ද අවසන් වෙන්නෙත් චිත්‍රපට දෙකක වැඩ කටයුතුත් එක්ක. දැන් මම වැඩිපුරම මුල් තැන දෙන්නේ පුතාගේ වැඩවලට නිසා ලබන අවුරුද්දෙත් පුතා වෙනුවෙන් වැඩි කාලයක් තියාගෙන ඉන්නවා. 

විශේෂ ලොකු බලා‍පොරොත්තු නැහැ, ‍පොඩි ‍පොඩි බලා‍පොරොත්තු දෙක තුනක් නම් තියෙනවා. අලුත් අවුරුද්දේත් ගෙවුණු අවුරුද්දේ වගේම හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න මගේ කාලය කැප කරනවා. පුතා තමයි අලුත් අවුරුද්දෙත් ලොකුම බලා‍පොරොත්තුව

සැලොන් එකට තමයි මුල් තැන - නයනා කුමාරි

අලුත් අවුරුද්දේ මගේ ලොකුම බලා‍පොරොත්තුව තියෙන්නේ සැලෝන් එක ගැන. මම සැලෝන් එක මාලබේට ගෙනාවා. සැලෝන් එක තවම එතනට අලුත්. ඒ නිසා අලුත් දේවල් එක්ක සැලෝන් එක හොඳ තත්ත්වෙට ගෙනැල්ලා මගේ සැලෝන් එකේ සේවය බලා‍පොරොත්තුවෙන් එන අයට හොඳ සේවයක් ලබා දෙන එක තමයි ලබන අවුරුද්දෙදි මම බලා‍පොරොත්තු වෙන ලොකුම දේ. ඒ වගේම මගේ පුතා ලබන අවුරුද්දේ හතරේ පන්තියේ එයාගේ ඉගෙනීමේ කටයුතු ගැනත් හොයලා බලලා එයා වෙනුවෙන් කාලය කැප කරන්නත් ඕන. 

කලා කටයුතුත් කිහිපයකටම ආරාධනා නම් ලැබිලා තියෙනවා. ඒත් මගේ අනෙක් වැඩකටයුතු නිසා මම තවම ඒ දේවල්වලට හරියට උත්තර දීලා නැහැ. කොහොම වුණත් අලුත් අවුරුද්දේ කලා කටයුතුවලට වඩා සැලෝන් එකටයි මම කාලය යොදවන්නේ.

තනිකඩ ජීවිතේ අවසන් වේවි - සාරංග දිසාසේකර

මගේ අලුත් අවුරුද්ද පටන් ගන්නේ සිනමා නිර්මාණ දෙකක් එක්ක. ඒත් එක්කම රණවිරු රියල් ස්ටාර් මූලික තරග දැන් පටන් අරගෙන තියෙන නිසා ලබන අවුරුද්දේ මුල් කාලයේදී රණවිරු රියල් ස්ටාර් තරගකාරී වටය පටන් අරගනීවි. එතකොට රණවිරු රියල් ස්ටාර් එක්ක කාර්යබහුල වෙනවා. වේදිකා නාට්‍යයවලටත් වැඩි ඉඩක් දෙන්න බලා‍පොරොත්තු වෙනවා. 

ඒ වගේම පුද්ගලික ජීවිතේ පැත්තෙන් තියෙන ලොකුම බලා‍පොරොත්තුව තමයි විවාහ වෙන එක. ඒ වෙනුවෙන් දින වකවානු යොදාගෙන ඒ දේවල් හොඳින් කරගන්න බලා‍පොරොත්තු වෙනවා. අනිත් අතින් අලුත් අවුරුද්දේදීත් හොඳ නිර්මාණ තෝරාගෙන ඒ තුළින් හොඳ දෙයක් ඉදිරිපත් කරන්නත් තමයි උත්සාහ කන්නේ.

පෙබරවාරි මාසේ ඉඳලා මම අම්මා කෙනෙක් - නදිනි ප්‍රේමදාස

කවදත් වගේ 2014 අවුරුද්දත් සතුටින් ගත කරන්න තමයි බලා‍පොරොත්තුව. ලබන අවුරුද්ද මට හරි විශේෂයි. මොකද ලබන පෙබරවාරි මාසේ මට මගේ පළමුවැනි බබා ලැබෙනවා. බබා ලැබුණාම මගේ ජීවිතේ ලොකු වෙනසක් වෙයි කියලා මට හිතෙනවා.

 මම මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසේ විතර ඉඳලාම එච්චර කලා කටයුතුවලට දායක වුණේ නැහැ. බබා ලැබුණාට පස්සේ ලබන අවුරුද්දේ අප්‍රේල්, මැයි වෙද්දී ආයෙත් සුපුරුදු විදිහට කලා කටයුතු පටන් ගන්නවා. කොහොම වුණත් බබා ලැබුණාම බබාගේ වැඩත් එක්ක මගේ හැම වැඩක්ම වෙනස් වේවි.

මගේම අලුත් ගෙදරට පදිංචියට යනවා - ශිහාන් මිහිරංග

අලුත් අවුරුද්දේ මුල් කා‍ලේ ගොඩක් වැඩකටයුතු යොදාගෙන තියෙනවා. මගේ අලුත්ම සින්දුව ජනවාරි මාසේ අහන්න පුළුවන්. අලුත් ගීත එකතුව එළිදක්වන්නෙත්, ලබන අවුරුද්දේ මුල් මාස කිහිපය ඇතුළත මම හදපු සින්දු 16ක් තමයි ගීත එකතුවේ තියෙන්නේ. ඒ අතරේ ලබන අවුරුද්දේ තියෙන ලොකුම බලා‍පොරොත්තුව තමයි මගේ අලුත් ගෙදර පදිංචියට යන එක. 

අලුත් ගෙදරයි, අලුත් ශබ්දාගාරයයි දෙකම දැනට කඳාන නගරයේ ඉදිවෙමින් තියෙන්නේ. ලබන අවුරුද්දේ පෙබරවාරි, මාර්තු වෙද්දී ඒ වැඩකටයුතු ඉවරවෙලා ඉක්මනටම එතැන පදිංචියට යන්න පුළුවන් වේවි කියලා හිතාගෙන ඉන්නවා.

සැමීගේ කතාව දකින්න බලා‍පොරොත්තුවෙන් ඉන්නවා - ජගත් චමිල

සුපුරුදු විදිහටම ලබන අවුරුද්දෙත් කලා කටයුතු කිහිපයක්ම පටන් ගන්න තමයි දැන් තියාම සූදානම් වෙන්නේ. අලුත් වේදිකා නාට්‍ය දෙකක් සහ අලුත් ටෙලි නාට්‍ය දෙකක වැඩ පටන් ගන්න තියෙනවා. මගේ බලා‍පොරොත්තුවක් වගේම මට ආදරය කරන ප්‍රේක්ෂකයන්ගේ බලා‍පොරොත්තුවක් වෙලා තියෙන නිව්යෝක් සිටි සම්මාන උළෙ‍ලේ සම්මානයට පාත්‍රවුණු 'සැමීගේ කතාව' චිත්‍රපටය ලබන වසරේවත් තිරගත වේවි කියන බලා‍පොරොත්තුව තියෙනවා. 

මම හිතුවේ නැහැ මගේ ප්‍රේක්ෂකයන්ට මේ චිත්‍රපටය බලන්න මෙච්චර කල් යාවි කියලා. ඒ නිසා සැමීගේ කතාව තිරගත වේවි කියන බලා‍පොරොත්තුව ලබන අවුරුද්දේ බලා‍පොරොත්තු අතර ඉස්සරහින් තියොගෙන ඉන්නවා.

වෙනස් විදියට මාව හමුවෙන්න පුළුවන් - ආශා එදිරිසිංහ

මම කවදත් එක පාරකට නිර්මාණ ගොඩක් කරන කෙනෙක් ‍නෙවෙයිනේ. ලබන අවුරුද්දේදීත් ඒකේ වෙනසක් නැහැ. වෙනස් විදිහේ කතාවක් තියෙන ටෙලි නාට්‍යයකින් ලබන අවුරුද්දෙත් මාව මුණ ගැහෙන්න පුළුවන් වේවි. 
ඒ හැරුණාම ප්‍රඩක්ෂන් හවුස් එකේ වැඩකටයුතුත් දිගටම කරගෙන යනවා. හැම අවුරුද්දේම වගේ ජීවිතේ සතුටින් සැහැල්ලුවෙන් ගත කරන්න තමයි බලා‍පොරොත්තුව. ලොකුම ලොකු බලා‍පොරොත්තු නම් නැහැ. තියෙන වැඩකටයුතු ටික හොඳට කරගෙන යනවා. තවම ජීවිතේ ගැන අලුත් ආරංචි නැහැ. ඒ නිසා සුපුරුදු විදිහට හොඳට ඉන්න තමයි බලා‍පොරොත්තුව.

කතා කළේ
නෙලූෂා සිල්වා

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment